gossip lanka

ඉරණවිල ඝාතකයා මීට පෙරත් දැරියක් කෙලෙසා මරයි

පසුගියදා හලාවත, ඉරණවිලදී දස හැවිරිදි පිරිමි දරුවකුට අතවර කර පහරදී ඝාතනය කළ බවට පාපොච්ඡාරණය කළ ඝාතකයා විසින්ම 2003 වසරේ ජූනි මාසයේදීද හය හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කර ඇතැයි ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම මවත්, දැරියත් යාචක වෘත්තියේ නිරත වන්නියන් වන බවත් හලාවත, වැල්ල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සිය මව සමග නිදා සිටි දැරියට අතවර කර
දූෂණය කර මරාදමා ඇති බවත් ‍පොලිසිය පවසයි.
මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ‍පොලිසිය එකල මෙම සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වන ඇගේ මව අදාළ නඩු විභාගයේදී සාක්ෂි දීමට අධිකරණයට නොපැමිණි බැවින් සැකකරු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර ඇති බව ‍පොලිසිය සඳහන් කළේය.

ඇසින් දුටු සාක්ෂි නැතත් පරීක්ෂණාත්මක සාක්ෂි ඔස්සේ සැකකරුට එරෙහිව කටයුතු කිරීමට තිබුණත් එසේ නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ‍පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම දැරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවද මොහු තවත් දරුවන් කීපදෙනකුට අතවර කර ඇති බවට තොරතුරු ලැබි ඇති අතර ඒ පිළිබඳවද ‍පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.

52 හැවිරිදි දෙදරු පියකු වන අන්තෝනිලාගේ ජූඩ් ලෝරන්ස් ප්‍රනාන්දු නමැති මෙම සැකකරුගේ බිරිඳ මියගොස් ඇතැයි ඔහු පැවසුවද, ඒ පිළිබඳවද ප්‍රශ්න පැන නැගී ඇති බැවින් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී.

මෙම සැකකරු හලාවත, ඉරණවිල ප්‍රදේශයේදී පසුගියදා ගිරව් අල්ලාදෙන බව පවසමින් දස හැවිරිදි සුසිත් නිර්මාල් නමැති දරුවා කැලයට රැගෙන ගොස් අතවරයට ලක්කර පහරදී ඝාතනය කර තිබුණි. සැකකරු මෙම සිද්ධියෙන් පසුව මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ ධීවර වාඩියක සැඟවී සිටියදී ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අතවර කිරීමේ සිද්ධිය දරුවා සිය දෙමාපියන්ට පවසන බව පැවසූ නිසා පහරදී ඝාතනය කළ බව සැකකරු පා‍පොච්ඡාරණය කර තිබුණි.

සැකකරු හලාවත මහෙස්ත්‍රාත් රඛිත ජී. අබේසිංහ මහතාගේ නිල මැදිරියට ඊයේ (05) සවස ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටි අතර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සියලු නීතිඥවරු පෙනී සිටියහ.

සැකකරු අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක්ද උද්ගත විය.

gossip lanka