gossip lanka

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව ජූලි 9දා

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදී රජයට රුපියල් කෝටි එක්දහස් එකසිය හතළිහක (බිලියන 11.4 ක) පාඩුවක් සිදුකළේ යැයි පවසමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ජූලි මස 09 දින විභාග කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිටා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (26) දින නියම කළාය.

රුපියල් බිලියන 11.4ක් රජයට පාඩු කිරීමේ සිද්ධියට
අදාළව විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති ජයරත්න, හිටපු මේජර් ජෙනරාල් වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු, හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩී. ඩබ්ලිව්. ඒ. සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් යාපා හෙට්ටිආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති, හිටපු නාවික හමුදාපති ජයනාත් කුමාරසිරි කොළඹගේ, හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්. එම්. ෆ්‍රැන්සිස් ඩයස් ජයරත්න පෙරේරා යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 19 ක් යටතේ 2016/09/01 වන දින අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පැවරිණි.

වර්ෂ 2012 අගෝස්තු 07 වන දින සිට වර්ෂ 2015 ජනවාරි මස 08 වන දින දක්වා වූ කාලසීමාව තුළදී ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම වෙත අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක් හෝ අනුග්‍රහයක් හෝ වාසියක් සිදුකිරීමේ චේතනාවෙන් හෝ එසේ විය හැකි බව දැන දැනම පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා ඉහත කී සමාගමට අවකාශය සැලසීමෙන් අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම හෝ එකී වරදට අනුබල දී ඇති බව සඳහන් කරමින් කොමිසම නඩු පවරා ඇත.

එසේම එම දූෂණය නම් වරද සිදුකිරීමට හෝ ඊට අනුබල දීම හෝ පොදු අරමුණින් යුතුව ක්‍රියාකිරීමට එකඟවීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ) සහ 102 වගන්ති සමඟ කියැවෙන 1994 අංක 20 දරන පනතින් සංශෝධිත 1954 (01) දරන අල්ලස් පනතේ 70 වන වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි දූෂණය නම් වරද සිදුකර ඇතැයිද චෝදනාවේ සඳහන්ය.


gossip lanka