gossip lanka

කඹයක තොණ්‌ඩුවක්‌ ගෙලට දමා වහල උඩ විරෝධතාවයේ

මයියංගණ පූජා නගරයේ කාන්තාවකගේ ඉඩම් ගැටලුවකට මහියංගණ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන් නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් ඇයගේ දීර්ඝ කලක්‌ පදිංචිව සිටි ඉඩම ඇයට අහිමි වූ බව පවසමින් කාන්තාවක්‌ පසුගිය (14 වැනිදා) දින උදැසන මහියංගණ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්‌ කාර්යාලයේ වහළය මත නැඟී විරෝධතාවයේ නිරත වූවාය. නිලධාරීන් ඇයගේ ගැටලුවට විසඳුම් නොදුනහොත් ගෙල වැලලාගෙන
මියයන බවට පවසමින් ඇය කඹයක තොණ්‌ඩුවක්‌ ගෙලට දමාගෙන විරෝධතාවයේ පැයක පමණ කාලයක්‌ නිරත වූවාය.

මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ මහියංගණ පූජා නගරයේ අංක 162/2 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්. එම්. මල්ලිකා නම් වයස 54 ක සිවුදරු මවකි. ඇයගේ සහෝදරයා ඉඩම් කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන් හා එක්‌ව කූඨ ලේඛන සාදා ඇයගේ නිවස පිහිටි ඉඩම නඩු මාර්ගයෙන් අත්පත් කරගත් බවට චෝදනා කරති. ඒ හේතුවෙන් ඇයගේ දරුවන් හා ඇයට වසර 5 ක්‌ තිස්‌සේ යන එන මං නොමැතිව ඉතා දුක්‌ත ජීවිතයක්‌ ගත කරන්නට සිදුවූ බවත්, කුඩා දියණිය සාමාන්‍ය පෙළ සමත්ව උසස්‌ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකිව අසරණ වූයේද මෙම ගැටලුව හේතුවෙන් බවත් ඇය චෝදනා කරති. වසර ගණනාවක සිට කූට ලේඛන මගින් සිදුකළ වංචාව පිළිබඳ නිලධාරීන් දැනුවත් කළද නිසි විසඳුම් ලබානොදුන් බවට ඇය පවසන්නීය.

මහියංගණ පොලිසියේ නියෝජ්‍ය ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රුවන් වීරකොන් මහතා හා කාන්තා පොලිස්‌ නිලධාරිනියන් පැමිණ ඇය වහළෙන් බැස්‌සීමට විශාල උත්සාහයක්‌ දැරීය. එහෙත් ඇය විසඳුම් ලැබෙන තුරු නොබසින බවට පැවසීමෙන් නිලධාරීන් අසීරුවට පත්වූ අතර අවසානයේ පොලිස්‌ නිලධාරිනියක්‌ වහළයට නැග විරෝධතාවයේ නිරත කාන්තාව වහළයෙන් බැස්‌සවීය.

එහිදී නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්‌ කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්‌තුමිය නොසිටි අතර ඒ වෙනුවට නිලධාරීන් ඇය සමඟ සාකච්ඡා කර ඉහළ නිලධාරීන්ගේ උපදෙස්‌ ගෙන ඇයගේ ගැටලුවට පිළිතුරු ලබාදෙන බවට පොරොන්දු විය.

gossip lanka