gossip lanka

පොලිස් පාට්වලට එරෙහිව ගැමියෙක්ගෙන් පැමිණිල්ලක් !

ත්‍රිරෝද රියැදුරෙකු බීමත්ව රිය පැදවූයේ යැයි ව්‍යාජ චෝදනාවක් නගා අල්ලස් ගැනීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට විරුද්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට
පැමැණිලි කර ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ දකුණු පළාත් කාර්යාලය කියා සිටී.

මෙසේ පැමිණිලි කර ඇත්තේ නවදගල, නුගේතිබූකන්ද, නො:577/1 පදිංචි පාවහන් නිෂ්පාදකයෙකු වන එච්.එච්. ආරියසිංහ (52) නැමති දෙදරු පියෙකි.

පසුගිය ඔකුතෝබර් 18 වැනිදා රාත්‍රියේ 09.00ට පමණ ඇල්පිටිය අලූත්ගම මාර්ගයේ ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්‍රදේශයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරින් එස්.පී.-6707 යන අංක දරණ ත්‍රිරෝද රඨය නතර කර ආරියසිංහ මහතාගෙන් බලපත්‍ර ඉල්ලා තිබේ.

ආරියසිංහ මහතා ඒ සියල්ල සිය රියදුරු බලපත්‍රයද සමඟ ඉදිරිපත් කර තිබේ.

පසුව පොලිසිය ඔහුගේ රියදුරු බලපත්‍රය කල් ඉක්තුව ඇති බව වසා ඇති අතර ඊට පෙරළා පිලිතුරු ලබාදුන් රියදුරු එය කල්ඉකුත්ව නොමැති බව පවසා ඇත.

ඉන් පසු එම නිලධාරියා ළඟට පැමිණ ‘ලයිසන් එක පරණ නැති වුනාත් තමුන් බීලනෙ ඉන්නෙ’ යැයි පවසා එහිදී පොලිස් නිලධාරියා තමාගෙන් අල්ලස් ගැනීමට තැත්කළ ද ආරියසිංහ මහතා ඊට එකඟ නොවූයෙන් ඔහු පොලිස් කූඩුවට දැමු බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.

පසුව ඔහු වෙනත් පොලිස් නිලධාරියකු මාර්ගයෙන් සිය ඥාති පුත්‍රයකුට දුරකථන ඇමතුමක් ලබාදී අලූයම 12.30ට පමණ ඇප ලබාගත් නමුත් පොලිස් කූඩුවේ සිටීමෙන් පපුවේ වේදනාව හා හිස රදය තත්ත්වයක් නිසා පොලීසියෙන් නික්මී ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් වූ බවත් ඔහු පැමිණිල්ලේ සටහන් කර ඇත.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලද අදාල අය පසුදා (19) දින පස් වරු 06.00ට පමණ රෝහලින් පිටවූ බවත් වෛද්‍ය වාර්තා වල මත්පැන් පානය කර නොමැති බව සඳහන්ව ඇතැයි ද පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පැවසේ.

මෝටර් රථ වාහන පනතේ 135(4) වගන්තිය යටතේ රියැදුරුට පොලීසිය විසින් ලබාදුන් එම්.ටී.ඒ. 37 පෝරමයේ සඳහන් පරිදි 2017-10-25 දින රියැදුරු ඇල්පිටිය මහේස්ත්‍රා අධිකරණයට ඉදිරිපත් වුවද එදින ඔහුට විරුද්ධව ඌරගස්මංහන්දිය පොලීසිය විසින් නඩු පවරා නොතිබුණ බවද පැවසේ.

වෙනත් රාජකාරී සඳහා අධිකරණයට පැමිණ සිටි ඌරගස්මංහන්දිය පොලීසියේ නිලධාරි මහතාගෙන් නීතිඥ මහතුන් විමසූ විට 2017-11-01 දින එම නඩුව ඉදිරිපත් කරන බව පැවසුවද එදිනද නඩු පවරා නොතිබූ බව රියැදුරුගේ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

නඩු පැවරීමක් නොකරන බැවින් ඔහු 2017-11-05 දින ඌරගස්මංහන්දිය පොලීසියට ගොස් රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ රියැදුරු බලපත්‍රය ලබානොදී තාවකාලික බලපත්‍රය තවත් දින 14 කින් දීර්ඝ කරදුන් බවත් මේ වන විට අවස්ථා පහකදී තාවකාලික බලපත්‍රය දීර්ඝ කර ඇතැයි ද ආරියවංස මහතාගේ පැමිණිල්ලේ සටහන්ව තිබේ.

මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකළ හා එම නීති විරෝධී ක්‍රියාව වසන් කිරීම හා ඔවුන්ව ආරක්ෂා කිරීමට පියවර ගත් සියලූම නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් කර යුක්තිය ඉටු කරන ලෙස පැමිණිලිකරු ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිසා රියදුරුබලපත දෙන්න බෑ - ස්ථානාධිපති (උරගස්මංහන්දිය)

අප මේ සම්බන්ධව ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එච්. සුජිත් ප්‍රියන්ත මහතාගෙන් විමසූ විට ඔහු ඔහු කියා සිටියේ
මෙම සිදුවීම සම්බන්ධව දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ෂණයක් පැවැත්වෙන බවයි.

එසේම විමර්ෂණය පැවැත්වෙන බැවින් රියැදුරු බලපත්‍රය නිදහස් කළ නොහැකි තත්ත්වයක් ඇති බවත්, එදින රාජකාරී බාරව සිටි පොලිස් සැරයන්වරයා බද්දේගම පොලිස් ස්ථානයට තාවකාලිකව මාරුකර යවා තිබෙන බවද ඔහු කීය.

විමර්ෂණය අවසන් වූ විට වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවද ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

වාර්තා ඉල්ලුවට තවම නෑ - තිලකා කල්‍යාණි (දකුණු පළාත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ)

දකුණු පළාත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පී.එම්.තිලකා කල්‍යාණි මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ පැමිණිල්ල සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති-ගාල්ල වෙත අපි දැනුම්දී ඇති බවයි.

කෙසේවුවද තවම එම වාර්තාව ලැබී නොමැති බවත්, වර්තාව ලැබුණු පසු ඉන් සෑහීමකට පත්විය නොහැකි නම් අදාල අය කැඳවා මේ සම්බන්ධ පැමිණිල්ල විභාග කරන බවද ඇය කීවාය.

සුනෙත් ගාල්ලගේ - ගාල්ල වාර්තාකරු

gossip lanka