gossip lanka

ඡන්දෙට දින තීරණය කිරීම දේශපාලකයගේ වැඩක් නෙවේ

මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම කිසිදු දේශපාලන පක්ෂයක හෝ දේශපාලනඥයකුගේ කාර්යයක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. දිගින් දිගටම මැතිවරණය පැවැත්වන

 දිනය පිළිබඳ අනාවැකි පළ කිරීම සිදුකරන්නේ නම් සෙනසුරාදා
දිනයකට මැතිවරණ පැවැත්වීමට ගත් තීරණය වුවද වෙනස් කළ හැකි බව ඒ මහතා පවසයි.

පෙබරවාරි 17 හෝ ඊට පෙර ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයකදී 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සිදු කිරීමට අපේක්ෂිත බවද සභාපතිවරයා පැවැසීය.

දේශප්‍රිය මහතා එසේ පැවැසුවේ 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට ඊයේ (4දා) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පළමු නාමයෝජනා දැන්වීම අනුව පළාත් පාලන ආයතන 93ක සහ දෙවැනි නාමයෝජනා දැන්වීම අනුව පළාත් පාලන ආයතන 248ක, ඒ අනුව පළාත් පාලන ආයතන 341ක, මැතිවරණ එකම දිනයක පැවැත්වීමට කටයුතු සිදු කරන බවත් මෙය ලංකා ඉතිහාසයේ පැවැත්වෙන දැවැන්තම එක්දින ඡන්ද විමසීම බවත් 2017 වසරේ මැද භාගයේ ඡන්දය පැවැත්වීමට ඇස්තමේන්තු කළ අපේක්ෂිත වියදම කෝටි 350ක් පමණ වුවද, මැතිවරණය පැවැත්වෙන්නේ 2018 වසරේ මුල භාගයේ වන නිසා මෙම වියදම කෝටි 400කට ආසන්න විය හැකි බවත් පැවැසීය.

මීට පෙර චක්‍රලේඛවලින් නිදහස් හා සාධාරණ මැතිවරණය උදෙසා කළ කාර්යයන් මෙවර ගැසට් නිවේදනයක් මඟින් විධානයක් ලෙස නියම කර ඇති බවත් ඒ අනුව රාජ්‍ය දේපළ, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය වාහන, ගොඩනැඟිලි ආදී කිසිවක් කිසිදු දේශපාලන පක්ෂයකට අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයට පත් කිරීමට හෝ අගතියට පත් කිරීම සඳහා යොදවා ගත නොහැකි බවත් මැතිවරණයට සම්බන්ධ සාමාන්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සියල්ල අත්හිටුවා ඇති බවත් පැවැසීය.

වසර අවසානයේ විමධ්‍යගත අය - වැයෙන් සිදු කෙරෙන සංවර්ධන කටයුතු හෝ කලින් නියම කර තිබූ සංවර්ධන කටයුතු කිසිවක් නතර නොකර කරගෙන ගියද ඒ කිසිවක් දේශපාලන රැස්වීම් කර නොගන්නා ලෙසත්, විභාග මඟින් බඳවා ගැනීම් කළ හැකි වුවද බැලූ බැල්මට දේශපාලනඥයන්ගේ හෝ පක්ෂවල මැදිහත්වීමෙන් කරන බඳවා ගැනීම් අත්හිටුවීමට බලය ලබා දී ඇති බවත් වැඩිදුරටත් පැවැසීය.

තවද ආගමික ස්ථාන තුළ කවරාකාරයක හෝ උත්සවයකට සහභාගි වී හෝ උත්සවය අවසානයේ වාහනයට ගොඩවීමට පෙර හෝ මාධ්‍ය වෙත යම් දේශපාලන කරුණක්, මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රචාරණය ලබාදීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බවත් ඊයේ (4දා) දින සිට මැතිවරණ පැමිණිලි පිළිබඳ ක්‍රියා කිරීමේ ඒකකය සක්‍රිය වූ බවත් පැවැසීය.

ඡායා- නුවන් අමරවංශ


gossip lanka