එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරි සඳහා තෝරා ගැනුණු පළමු ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරිනියන් දෙදෙනා මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව ගියහ.
ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරික්ෂණ රාජකාරි සඳහා හමුදා නිලධාරිනියන් වෙත ආරාධනා ලද ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
එසේ ආරාධනා ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ මේජර් නිශාන්ති ලියනගේ වසරක කාලයක් එහි රාජකාරිවල නිරතවීමට නියමිතය.
සාම සාධක කටයුතු නිරීක්ෂණය සඳහා දිවයිනෙන් බැහැරව යාමට ප්‍රථම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ හමුදා නිලධාරිනියන්ට සිය වෘත්තියමය ජීවිතයේ ඉතා වටිනා අවස්ථාවක් හිමිව ඇති බවය.
සිය වෘත්තීය නිපුණත්වය මනාව ප්‍රදර්ශනය කරමින් රාජකාරි ඉටුකරන ලෙස ඔවුන්ට උපදෙස් දුන් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ඉදිරියේදී තවත් නිලධාරිනියන් කිහිප දෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරි සඳහා එක්වීමට නියමිත යයි වැඩිදුරටත් සඳහන් කළ බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක් වේ.
කැපවීමෙන් සහ වගකීමෙන් සිය රාජකාරි ඉටු කිරීමට බලාපොරොත්තු වන බව මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ මේජර් නිශාන්ති ලියනගේ ඒ අවස්ථාවේ හමුදාපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළහ.
මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ මේජර් නිශාන්ති ලියනගේ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් මුණසිංහ, බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ සහ බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සමග
යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කර්නල් සේනා විධායක බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1955 වසරේදීය.
ඉන් අනතුරුව 1960 වසරේ දී අප්‍රිකාවේ කොංගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු යුද හමුදා භට පිරිස 1962 වසර දක්වා එහි සේවය කළහ.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් වරින් වර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කර තිබේ.
ළමා අපචාර චෝදනා:
මේ අතර 2004 -2007 කාල සීමාවේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අනුයුක්තව හයිටි රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලංකා හමුදා භටයන් 134 දෙනෙකුට ළමා අපචාර චෝදනා එල්ල විය.
පසුව ඒ අතරින් 114 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට කැඳවන ලද අතර, ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් හමුදාව විසින් පරීක්ෂණයක් පවත්වන ලද බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මීට ඉහතදී බීබීසී සිංහල සේවයයට පැවසීය.
අදාළ බලකායේ අණදෙන නිලධාරියා සේවයෙන් ඉවත් කළ බව පැවසූ හමුදා ප්‍රකාශකවරයා, හමුදා සාමාජිකයන් අට දෙනෙකුට එරෙහිව විනය පියවර ගත් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
(බීබීසී සිංහල සේවය)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ
2017-11-05T09:38:00+05:30
Gossip Lanka Hot News