gossip lanka

තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන උකුලේ සිටි දරුවා වතුරේ ගිල්වා මරාදාලා

කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.

නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව
වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත.

 මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

 බිලිඳු දැරියගේ මව වන ජයනි සඳරේඛා නමැත්තිය පානදුර පුදේශයේ පදිංචිකාරියක වන අතර සැමියාද සමග කතරගම පැමිණ  ඇත්තේ මාස 15 කට පමණ පෙරදීය.

සිද්ධියට මුහුණ පෑ කාන්තාව වන විජේසූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් කරමින් මෙසේ පවසා ඇත.

 “මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටියායි. සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් එයා ගමේ පන්සලට ගොස් සිටියේ. සවස 6.50 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ. මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා. අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි. ආවේ කියා ඔවුන් කීවා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම රැ 7.00 ට විතර ඇවිත් ගෙට ඇතුළු වුණා.

එක් කෙනෙක් මම කැගහද්දිම මගේ අතේ සිටි දරුවා උදුරාගත්තා. අනෙක් එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා. මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරන් එළියට පැන ගත්තා. ඒත් එක්කම මට තිරෝද රථයක් වේගයෙන් යන හඩ ඇසුණා. මම කැ ගසා මෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පේන්න හිටියේ නැහැ. කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එක ඇතුළේ සිටියා. ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මියගිහින්, මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි'

පශේචනාත් මරණ පරීක්ෂණය සඳහා බිලිඳියගේ සිරුර දෙබරවැව මූලික රෝහලට යවා ඇත.

තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ පබිලෝද ඊයේ අපරාධිය සිදුවූ ස්ථානයට රැගෙන විත් අපරාධකරුවන් ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.



gossip lanka