gossip lanka

කොන්දෙ අමාරුවට වැරදි ප්‍රතිකාර දුන්නාට රෝගියෙක් වෛද්‍යවරයකුට එරෙහිව නඩු දාලා

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු තමාගේ කොන්දේ අමාරුවකට නොසැලකිලිමත්ව වැරදිසහගත ලෙස ශල්‍යකර්මයක් සිදු කිරීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන් රැසක් අක්‍රියත්වයට පත්ව ඇති බව චෝදනා කරමින් රුපියල් ලක්ෂ සියයක වන්දියක් ඉල්ලා රෝගියකු අනුරාධපුර දිසා අධිකරණය හමුවේ
පවරා ඇති නඩුවට 2018 පෙබරවාරි මස 16 වැනිදාට උත්තර බඳින ලෙස අනුරාධපුර වැඩ බලන දිසා විනිසුරු මාලනී රනේපුර මහත්මිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකුට නියෝග කළාය.

තඹුත්තේගම ඉපිල්වත්ත පදිංචි ජූඩ් රනිල් ලෙනාඩ් මහතා නීතිඥ සුරංග මොහොට්ටි මහතා මඟින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටිනුයේ අනුරාධපුර රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකි.

පැමිණිලිකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සුරංග මොහොට්ටි මහතා සඳහන් කළේ 38 වැනි වියෙහි පසුවන පැමිණිලිකරු කොන්දේ හා පාදවල රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර නගරයේ පෞද්ගලික රෝහලකදී විත්තිකාර ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා හමු වී ඇති බවයි.

සීටී ස්කෑන් ඇතුළුව වෛද්‍ය පරීක්ෂණ රැසක් විත්තිකාර වෛද්‍යවරයාගේ උපදෙස් මත පැමිණිලිකරු සිදු කළ බවත් එම වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බැලූ විත්තිකාර ස්නායු ශල්‍යවිශේෂඥ වෛද්‍යවරයා පැමිණිලිකරුට ශල්‍ය කර්මයක් සිදු කළ යුතු බවට නිර්දේශ කළ බවත් නීතිඥවරයා අධිකරණයට සැල කළේය.

ඒ අනුව පැමිණිලිකරු 2015.04.15 වැනි දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ 31 වැනි වාට්ටුවට ඇතුළත් වීමෙන් පසුව 2015.04.17 වැනි දින අදාළ ශල්‍යකර්මය විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කළ බවද අධිකරණයට කියා සිටි නීතිඥවරයා ශල්‍යකර්මයෙන් පසුව සිහිය ලැබුණු අවස්ථාවේ පැමිණිලිකරු දැඩි ලෙස රෝගාතුර වී ශරීරයේ වේදනාවන් ඇති වී ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයද අක්‍රිය වී මතක ශක්තියද හීන වී ගිය බවද සඳහන් කළේය.

ශල්‍යකර්මයෙන් අනතුරුව එසේ රෝගී වීම නිසා විත්තිකාර වෛද්‍යවරයා විසින් පැමිණිලිකරු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර පසුව 2015.04.18 වන දින යළි ඔහු ශල්‍යකර්මයකට භාජන කළ බවත් දෙවැනි ශල්‍ය කර්මයෙන් පසුවද පෙරට වඩා පැමිණිලිකරු අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා 2015.05.05 වන දින පැමිණිලිකරු රෝහලින් පිටව ගිය බවද නීතිඥ සුරංග මොහොට්ටි මහතා අධිකරණයේ දැන්වීය.

පසුව පැමිණිලිකරු වෙනත් වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය පරීක්ෂණවලට භාජන වී වැඩිදුරටත් කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති ශල්‍ය කර්මය නිසි උනන්දුවකින් තොරව

නොසැලකිලිමත්ව වැරදි සහගත ලෙස සිදු කිරීම හේතුවෙන් පැමිණිලිකරු මෙලෙස විවිධ රෝගී තත්ත්වයන්ට පත්ව ඇති බවයි.

විත්තිකරු පැමිණිලිකරුගේ රෝගී තත්ත්වය හා ශල්‍යකර්මය සම්බන්ධයෙන් දැක්විය යුතු සිය වෘත්තීයමය සැලකිලිමත් වීම නිසි ලෙස දක්වා නොතිබීම සහ පැමිණිලිකරුගේ රෝගී තත්ත්වය සහ ශල්‍යකර්මය සම්බන්ධයෙන් සිය වෘත්තීය ක්ෂේත්‍රය තුළ ගත යුතු ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීම හෝ පැමිණිලිකරුගේ රෝගී තත්ත්වය සහ ශල්‍යකර්මය පිළිබඳව වෘත්තීයමය වගකීම කඩ කිරීම යන කරුණු හේතුවෙන් ශල්‍යකර්මයෙන් පසුව පැමිණිලිකරුට මෙම හානිය සිදුව ඇති බවටද නීතිඥවරයා සිය පැමිණිල්ල මඟින් චෝදනා කරනු ලැබීය.

විත්තිකාර ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වමින් ජේ‍යෂ්ඨ නීතිඥ ආරියරත්න වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ පැමිණිල්ල විසින් නඟා ඇති සියලු චෝදනා විත්තිකාර ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. අසත්‍ය චෝදනා එල්ල කර අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකරුට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන බවද නීතිඥවරයා අවධාරණය කළේය.

අනුරාධපුර _ ආනන්ද කරුණාදාස





gossip lanka