gossip lanka

භූමිතෙල්වලින් ධාවනය වන අනුරපුරේ බස්‌ රථ

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මැදවච්චිය හා ශ්‍රී පුර ප්‍රදේශවල මගී බස්‌ රථ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තොරතුරු අනාවරණය වෙයි.

මැදවච්චිය - ශ්‍රීපුර මාර්ගයේ හා යාපනය - කොළඹ මාර්ගයේ ධාවනය කෙරෙන බොහෝමයක්‌ බස්‌ රථ භූමිතෙල් ඉන්ධන යොදා ධාවනය
කරවීමට මේ වනවිට බස්‌ රථ හිමියන් කටයුතු කරන බවට වාර්තා විය. ඉන්ධන මිල ඉහළ යාමත් සමගින් බස්‌ රථ හිමියන් යුධ සමයේ ත්‍රස්‌තවාදීන් විසින් භාවිත කරන මෙම ක්‍රමවේදය අනුගමනය කර ඇතැයි වාර්තා විය.

යාපනය ප්‍රදේශයේ දමිළ කාර්මිකයකු මගින් මැදවච්චිය ශ්‍රී පුර හා යාපනය ප්‍රදේශයේ බස්‌ රථ ගණනාවක්‌ භූමිතෙල් ඉන්ධන භාවිත කර ධාවනය කරවීමට එන්ජිම සකස්‌කර ඇතැයි බස්‌ රථ රියෑදුරන් පවසති. ඒ සඳහා කාර්මිකයාට රුපියල් 3500 ක්‌ පමණක්‌ වැය වන බව ද වාර්තා විය.

ඒ හේතුවෙන් ඩීසල් භාවිතා කර බස්‌ රථ ධාවනය කරන්නන්ට වඩා අවම මිල ගණන් යටතේ භූමිතෙල් යොදා ධාවනය කරන බස්‌ රථ හිමියන් කුලී ගමන් පවා යවන බවට වාර්තා විය. ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා බස්‌ රථ ධාවනය කරවීම හේතුවෙන් විශාල ලාභයක්‌ බස්‌ රථ හිමියන්ට ඇතැයිද මෙම ක්‍රියාවෙන් පරිසරයට හානියක්‌ සිදුවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යෑයිද මගීන් පවසති.


-දිවයින



gossip lanka