නටන්න බැරි මිනිහට පොළව ඇදයි යන්න ව්‍යවහාරයේ පැරණි කියමනකි. අදක්ෂයා තම බැරිකම වස ගැනීම සඳහා තවත් දෙසකට ඇඟිල්ල දිගු කරමින් වරද පැටවීම එහි සරල අරුතය. මා එසේ සඳහන් කර සිටින්නේ වත්මන් ක්‍රිකට් පරිපාලනයට මෙම කියමන අතිශයින්ම ගැලපෙන නිසාය.
පරිපාලනය පැමිණි වසර 2 කට අසන්න කාලයක් ඉක්ම යද්දී ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් කළ සුබවාදී කිසිවක් නොමැත. එය දිනෙන් දින අගාධයටම යනවා හැරෙන්නට පිබිදීමක් නැති
ගානය. මෙයට සෘජුවම බලපා ඇත්තේ වත්මන් නිලධාරීන්ගේ නොහැකියාව යැයි කීවොත් නිවැරදිය. එහෙත් ඔවුන් එහි වගකීම බැහැර කරන්නේ වෙන වෙන තැන්වලටය. විටෙක හිටපු පරිපාලනයටය. තවත් විටෙක ක්‍රීඩකයිටය. එසේත් නැතිනම් ක්‍රීඩක කළමනාකරුවන්ටය.
එහෙත් හිටපු පරිපාලනය දැන් නැත. පාලනය කිරීමට නොහැකි ක්‍රීඩකයින්ද නැත. ඇන්ජලෝ මැතිව්ස්ද නායකත්වයෙන් ඉවත්වී තිබෙන වටපිටාවක චාලි ඔස්ටින්ලාට කරන්නට පුළුවන් කෙන්ගේඩියකුත් නැත. (බලපෑමක් තිබුණායැයි කීවේද මෙම බලධාරීන්ය). ක්‍රිකට් පරිපාලන බලාධිකාරයන්ගේ තුරුම්පු සියල්ල වත්මන් පරිපාලනය සතු වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිනෙක් දින ලබන පරාජයන්හි නම් අඩුවක් නැත. පුර්විකාවේ සඳහන් කරන ලද ප්‍රස්ථාපිරුල වත්මන් ක්‍රිකට් පරිපාලකයන්ට ගැලපෙන්නේ යැයි සඳහන් කරන ලද්දේද එබැවිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට පැහැදිලිවම වගකිව යුත්තේ අවබෝධයක් හෝ දැක්මකින් තොරවූ ක්‍රීඩකයින් තේරීමය. විස්සයි / 20 ලෝක ශුරතාව දිනාගත් 2014 වසරෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන ක්‍රීඩකයන් සංඛ්‍යාව ගෙන බැලීමේදී එය පැහැදිලි වනු ඇත. එම වසරේ සිට මේ දක්වා ටෙස්ට්, එක්දින සහ විස්සයි / 20 තෙඅංශයෙන්ම ක්‍රීඩකයින් 53 ක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබෙන බව පැවසුවහොත් එය පිළිගත හැකිද ? එහෙත් සත්‍යය එයයි. එතැන් පටන් මේ දක්වා කාලයේදී ටෙස්ට් තරඟවලට ක්‍රීඩකයන් 14 දෙනෙකු, එක්දින අංශයට ක්‍රීඩකයන් 21 දෙනෙකු සහ විස්සයි / 20 තරඟවලදී ක්‍රීඩකයන් 18 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා තිබේ.
එහෙත් ඒ අය අතරින් ශ්‍රී ලංකාව ජය කනුව කරා රැගෙන යාමට සමත්වෙමින් කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට සමත්ව සිටින්නේ, කුසල් මෙන්ඩිස්, නොරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න යන තිදෙනා පමණි. සෙස්සෝ එති යති. රැඳී සිටින්නෝ වෙත්ද ඔවුහු කණ්ඩායමේ ජග්‍රහණය වෙනුවෙන් කිසිවක් නොකරති.
කණ්ඩායමට පැමිණ එක රැයින් මුළු ලෝකයම දිනිය නොහැක්කක් බැවින් එය ක්‍රීඩකයන් සතු වරදක් නොවන්නේය. දක්ෂතා අතරට පැමිණීමට කාලය අවශ්‍යය . ඒ සඳහා ප්‍රමාණවත් තරඟ සංඛ්‍යාවකට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලබා දීය යුතුය. ඒ හරහා ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව ඔවුන් තුලම විශ්වාසය ඇතිකළ යුතුය. එය කළමනාකරණය කිරීම කළමනාකාරීත්වයේ වගකීමය. එහෙත් අවාසනාවකට අපට නැත්තේද එයයි. මෙහි පුර්ණ වගකීම සනත් ජයසුරියගේ සභාපතීත්වයෙන් යුතු තේරීම් කමිටුවටම දිගු කිරීම සාධාරණ යැයි හැඟෙ. මඳ ඒ අතරතුර කාලයේදී කපිල විජේගුනවර්ධනගේ කමිටුවත් එතෙක් කලක් නායකත්වය දැරූ නායකයන් මෙන්ම කණ්ඩායම් කළමනාකාරිත්වයද එම තේරීම් සඳහා පෙනී සිටීම නිසාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීමේ වගකීම් ඔවුන්ටද සමව බෙදී යා යුතු නිසා ජයසූරිය දෙසටම ඇඟිල්ල දිගු කිරීම අසාධාරණ යැයි සඳහන් කෙළේ මෙකී තත්ත්වය හරහාය.
තේරීම් කමිටුවක් සිටියද වත්මන් වැඩපිළිවෙල අනුව නායකයාට අවශ්‍ය පරිදි කණ්ඩායම ලබාදීම තේරීම් කමිටුවට පැවරී තිබෙන රාජකාරියයි. ඉහළින් ලැබී තිබෙන නියෝග ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා එසේ කිරීම හැර වෙනත් දෙයක් කිරමට ඔවුහු නොපෙළඹෙති යන්න දැන් ප්‍රසිද්ධියට පත් රහසකි. සමස්ත කාරනා සියල්ල දෙස අවධානය යොමු කිරීමේදී පරාජයන් හැර වෙනත් කිසිවක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු විය යුතුද යන්න මෙය කියවන ඔබම තේරුම් ගත යුතුය.
ලංකාව මැච් පරදින හේතුව මෙන්න, අවුරුදු 4ට ක්‍රීඩකයන් 53 ක් ටීම් එකේ ඉඳලා
2017-08-05T12:54:00+05:30
Gossip Lanka Hot News








