gossip lanka

බඹර ප්‍රහාරයට ලක්‌ වූ කාන්තාවන් පටවාගෙන දලු ට්‍රැක්‌ටරය 'වටේගිහින්'

පුපුරැස්‌ස ලෙවලන්වත්ත මනිකට්‌ටුව ප්‍රදේශයේ 26 දා තේ දලු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනකු බඹර ප්‍රහාරයකින් බරපතළ තත්ත්වයෙන් සිටියදී ඔවුන් රෝහල් ගෙන යැමට වත්තේ වාහනයක්‌ නොමැති විය. දලු එකතු කරන ට්‍රැක්‌ටරයට නංවා එම තුවාලකාරියන් රෝහලට ගෙන යැමට සූදානම් කළත් එම කාන්තාවන් දෙදෙනා පටවා ගත් ට්‍රැක්‌ටරය පැය දෙකක්‌ පමණ කාලයක්‌ තවදුරටත් දලු එකතු කරමින් සිට පසුව ලෙවලන් වත්ත තේ කම්හලට පැමිණ තිබේ.
එහිදී ත්‍රිරෝද රථයකින් කාන්තාවන් දෙදෙනා ගලහ රෝහලට යවා තිබේ.

ඉන්දියන් රජය මගින් මෙම වත්තට ගිලන් රථයක්‌ දී තිබුණද සුළු කාර්මික දෝෂයක්‌ නිසා වසර ගණනාවක්‌ පුරා එය අලුත්වැඩියා නොකර නවතා දමා තිබීමෙන් මෙවැනි තත්ත්වයක්‌ උද්ගතව ඇති බව මෙහි කම්කරුවෝ පවසති.

ලෙවලන් වත්ත මනිකට්‌ටුව කඳුමුදුන කොටසේදී මෙම කාන්තාවන් බඹර ප්‍රහාරයට ලක්‌ව ඇති අතර එම ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක්‌ සොයා ගැනීමට නොහැකිව මෙසේ වත්තේ දලු එකතු කරන ට්‍රැක්‌ටර් රථයට මොවුන් නංවා තිබේ.

මෙම ප්‍රදේශයේ සිට ගලහ රෝහලට කිලෝ මීටර් 15 ක්‌ පමණ ඇති අතර ට්‍රැක්‌ටරයේ දලු එකතු කර කර තේ කර්මාන්ත ශාලාවට මොවුන් රැගෙන ගොස්‌ ආපසු එතන සිට කිලෝ මීටර් 10 ක්‌ පමණ ත්‍රිරෝද රථයකින් මෙසේ ගලහ රෝහලට රැගෙන ගොස්‌ තිබේ.

මේ පිළිබඳව විමසීම සඳහා වතු කළමනාකරුට දුරකථන ඇමතුමක්‌ දුන් නමුදු ඔහු කීවේ තමන් වාහනය පදවන නිසා කතා කළ නොහැකි බවය.

gossip lanka