gossip lanka

තෙල් සේවකයෝ යළි වර්ජනයකට සැරසේ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව නොමග යවා ඇති බවට සැකයක් මතුවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.

එහි සම කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ පවතින ගැටලූකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලබන පළමු වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරයා සමඟ 26දා පැවැති සාකච්ඡාවේදී හම්බන්තොට වරාය
ගිවිසුම ඇතුළු තම ගැටලු සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව දුන් නමුත්, මේ වන විට හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තබා තිබෙන බැවින් මෙම සැකය මතු වන බව දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බව ඩී.ජේ. රාජකරුණා මහතා පැවසිය.

අත්සන් කරන ලද වරාය ගිවිසුම තම සංගමය මෙතෙක් දැක නැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් පළමු වැනිදාට නියමිත සාකච්ඡාව අවලංගු වී ඇතිද යන්න පිළිබඳවත් දැඩි අවධානයකින් පසුවෙන බවත්, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

පසුගිය දා ඇති වූ ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් රට පුරා ජනතාව බරපතල ලෙස පීඩාවට පත් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 26දා සවස පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කළේය.

02දා රට පුරා උද්ඝෝෂණ :

මේ අතර, ලබන අගෝස්‌තු මස 02 වැනිදා ජාතික විරෝධතා දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර රජයට එරෙහිව රටපුරා විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමට සයිටම් විරෝධී ජනපවුර ව්‍යාපාරය තීරණය කර ඇත.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම, සයිටම් අහෝසි නොකිරීම, එට්‌කා ගිවිසුම, අතුරුදන් පනත, මැතිවරණ කල් දැමීම ඇතුළු ආණ්‌ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම විරෝධතා පැවැත්වෙයි.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්‌ෂ, ජනතා විමුක්‌ති පෙරමුණ, වෘත්තීයවේදී සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර රැසක්‌ එදින මෙම විරෝධතාවට එක්‌වීමට තීරණය කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩල වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka