gossip lanka

රටෙන් 'තුනෙන් දෙකක්’ නියඟයට හසුවෙයි !

ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 17කට පමණ මේවන විට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයින පුරාම පවුල් තුන්ලක්ෂයක සාමාජිකයන් මිලියනයකට වැඩි පිරිසක් (1,093,717) නියඟයෙන් පීඩාවට පත්ව ඇති බව ද ආපදා
කළමණාකරණ මධ්‍යස්ථානය සඳුදා (ජුලි 31) උදෑසන නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

නියගයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ උතුරු පළාතටය. එම පළාතේ 462,815 දෙනෙක් නියඟයෙන් පීඩාවට පත්ව සිටිති. උතුරු පළාතෙන් පසුව වැඩිම බලපෑම් ඇතිවී තිබෙන්නේ නැගෙනහිර හා උතුරු මැද පළාත් වලටය.

පවත්නා වියළි කාලගුණික තත්ත්වයත් සමග මෙම දිස්‌ත්‍රික්‌කවල බොහෝ ජල මූලාශ්‍ර සිඳීගොස්‌ ඇති නිසා පීඩාවට පත් ජනතාවට පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම දැඩි අභියෝගයක් වී තිබෙන බව වාර්තා වේ.

මෙම ප්‍රදේශවල ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමට ජල බවුසර් යොදවා තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන නමුත් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා එය ප්‍රමාණවත් නොවන බව එම ප්‍රදේශවල වෙසෙන වාර්තාකරුවෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරිදා (ජුලි 30) එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ප්‍රධාන වශයෙන්ම සිය පානීය ජල අවශ්‍යතා සහ සෙසු ජල අවශ්‍යතා සපුරාදෙන ලෙස ඒ අවස්ථාවේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීමට හා ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය තවත් මූල්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් ලබාදීමටත් ජනාධිපතිවරයා එහිදී අදාළ බලධාරින් වෙත උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම වන සතුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින අතර, වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ වන සතුන්ගේ පිපාසය නිවීම සඳහා වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ජල බඳුන් තැබීමට කටයුතු කර ඇති බවය.
වන අලින් ජලය සොයා ගම් වැදීමේ හැකියාවක් ඇති බැවින් අලි මිනිස් ගැටුම් සිදුවන ප්‍රදේශවල ජනතාව ඒ ගැන විමසිල්ලෙන් සිටිය යුතු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කර තිබේ.

විදුලි බල අර්බුදයක්?

නියඟය හේතුවෙන් විදුලි බල සැපයුම ද යම් අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ජල විදුලිය නිපැයුම දහවල් කාලයේ සම්පූර්ණයෙන්ම නවතා තිබෙන බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.

නොරොච්චෝලේ තුන් වෙනි බලාගාර‍ය අලුත්වැඩියා කිරීම සහ දහවල් කාලයේ ජල විදුලිය නිෂ්පාදනය නොකිරීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඉල්ලුම වැඩිවූ විට දහවල් කාලයේ "පොඩි වෙලාවකට" විදුලිය කැපීමක් සිදුවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

නියඟය නිසා විදුලි බල අර්බුදයක් මතුවේවිද?

"අපි තත්ත්වය කළමනාකරණය කර ගෙන යනවා. ඉල්ලුම වැඩිවුනොත් දහවල් කාලයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය කපන්න සිදුවෙනවා, විනාඩි විස්සකට විතර තත්වය කළමනාකරණය කර ගන්න. ඒකත් පසුගිය දින කිහිපය තුළ සිදු කළේ නැහැ."
විදුලිය හා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වායු සමීකරණ උපකරණ වැනි දෑ භාවිතය වැඩිවීමෙන් විදුලි බල ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ පළාත් ගණනාවක වැසි ඇතිවිය හැකි බවට කාළගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබේ.

නියඟයෙන් පීඩා විඳින සතුන්


නියඟයෙන් සිඳී ගිය වැවක සංරක්ෂිත ඡායාරූපයක්


පවසට දිය බිඳක් සොයා (සංරක්‍ෂිත ඡායාරූපයකි)




බීබීසී සංදේශය
ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka