gossip lanka

ජාතික ගෙවීම් පද්ධතිය මහ බැංකු පාලනයෙන් ගිලිහී පෞද්ගලික සමාගම් අතට පත්වීමේ අවදානමක්

රටට ම අඩු මිලට ඉන්ටර්නෙට් පහසුකම් ලබාදෙන බව පවසමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ. ආයතනයේ ප්‍රධාන විධායක මුහුන්දන් කනගේ මහතා මැදිහත් වී ක්‍රියාත්මක කළ ගූගල් ලූන් ව්‍යාපෘතියේ අක්‍රමිකතා මාධ්‍ය දිගින් දිගටම අනාවරණය කළේ ය.

රාමා නමැති සමාගමක් ඇති කර ඒ හරහා රටේ ජාතික සම්පතක් වන විකාශන සංඛ්‍යාත ලබා ගැනීමේ උත්සහය එහිදී අනාවරණය විය.

අයි.සී.ටී.ඒ. ආයතනයේ ප්‍රධාන විධායක මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී සිටින එවැනි ම තවත් සිදුවීමක් පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් තිබේ.

නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් නැතහොත් ජාතික ගෙවීම් වේදිකාවක් නිර්මාණය කිරීමට 2016 නොවැම්බර් 10 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

සියලුම රජයේ ආයතන, බැංකු ඇතුළු මූල්‍ය ආයතන, ව්‍යාපාර සහ සෑම පුරවැසියෙකුම සම්බන්ධ කර කාසි හා නෝට්ටු නොමැතිව විද්‍යුත් ක්‍රමයට ගනුදෙනු කිරීමට පහසුකම් සැලසීම ජාතික ගෙවීම් වේදිකාවෙන් සිදුවේ.

මෙහිදී සෑම ආයතනයක ම හා පුද්ගලයෙකුගේ ම තොරතුරු මේ වේදිකාව සකස් කරන ආයතනය සතු වේ.

අයවැය යෝජනාවේ සඳහන් වූයේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ. ආයතනය මෙම ක්‍රියාවලිය සිදුකරන බව ය.

අයවැය යෝජනාව ඉදිරිපත් වීමට මාස ගණනකට පෙර එනම් 2015 වසරේ සැප්තැම්බර් 9 වන දා ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව අමතමින් අයි.සී.ටී.ඒ. ආයතනයේ ප්‍රධාන විධායක මුහුන්දන් කනගේ මහතා ජාතික ගෙවීම් වේදිකාවක් සකස් කරමින් සිටින බව අනාවණය කළේ ය.

ඒ සඳහා සමාගම් 12ක් කැමැත්ත පළ කර ඇති බවත් ඉන් දේශීය පෞද්ගලික සමාගම් 3ක් තෝරාගෙන ඇති බවත් ඔහු එම සමුළුවේදී පැවසී ය.

මේ අනුව අමාත්‍ය රවි කරුණානායක මහතා ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වන්නේ ඒ සඳහා සමාගම් 3ක් ද තෝරා ගැනීමෙන් පසුව ය.

යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 2016 ජුලි 12 වන දා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබිණි.

අයවැයෙන් යෝජනාව ඉදිරිපත් වීමත් සමග ම පෞද්ගලික සමාගම් සමග ජාතික ගෙවීම් වේදිකාවක් සකස් කිරීම රටේ නීතියට පටහැනි බව පෙන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පැවරුණු අතර ලබන 20 වන දා එය යළි කැඳවීමට නියමිත ය.

මුහුන්දන් කනගේ මහතා පවසන පරිදි ජාතික ගෙවීම් වේදිකාව සඳහා තෝරාගත් සමාගම් 3 අතර ටෝටල් පේ නමැති සමාගමක් ද වේ.

ටෝටල් පේ සමාගම මේ පිළිබඳව පැහැදිලි කරමින් සකස් කළ ලියැවිල්ලේ දැක්වෙන්නේ, අයි.සී.ටී.ඒ. ආයතනය තමන්ට ජාතික ගෙවීම් වේදිකාවේ ඩිජිටල් විද්‍යුත් උපදේශකත්වය සඳහා මෙහෙයුම් අයිතිය ලබා දී ඇති බව ය.

මෙම පද්ධතියේ ලියාපදිංචි වීම සඳහා පුද්ගලයාගේ සියලු තොරතුරු ඇතුළත් කළ යුතු වේ.

ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු කාඩ්පත්වල හා ගිණුම්වල තත්ත්වයන් ද මේ අනුව පෞද්ගලික සමාගමකට අනාවරණය කිරීමට සිදුවේ.

මෙවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සහ දරන්නේ දැනටමත් මහ බැංකුව, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ ව්‍යාපාර සම්බන්ධ කරමින් නිශ්කාෂණ කටයුතු සඳහා ලංකා ක්ලියර් නමින් සාර්ථක පද්ධතියක් නිර්මාණය කර ඇති පසුබිමක ය.

පෞද්ගලික සමාගම් මේ කාර්යයට මැදිහත් කර ගන්නේ මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණයට යටත්ව ක්‍රියාත්මක ලංකා ක්ලියර් ජාතික ගෙවීම් වේදිකාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික කටයුතු ද සම්පාදනය කර තිබියදී ය.

තෝරාගත් සමාගම් 3 අතර සිටින ටෝටල් පේ සමාගම සම්බන්ධයෙන් මේ වන විට බරපතල සැක සහිත කරුණු රැසක් මතුවේ.

ටොටල් පේ සමාගමට ජාතික ගෙවීම් පද්ධතිය සකස් කිරීමට මහ බැංකුව අනුමැතියක් ලබා දුන්නා ද?

ගූගල් ලූන්, විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය හා මුහුන්දන් කනගේ පිළිබඳව බරපතල සැක මතු වෙද්දී මේ ව්‍යාපෘතියට ඉඩ දුන්නේ කවුද?

ජනතාව නියඟයෙන්, ගංවතුරින් සහ ආර්ථික දුෂ්කරතාවලින් දැඩි ලෙස පීඩා විඳිමින් සිටිද්දී ඒ ජනතාවගේ මුදල් වගකීම් විරහිතව පාලනය කිරීමට උත්සහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද?


gossip lanka