gossip lanka

අර්ජුණගේ කතාවලට ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැර පිළිතුරු ගොඩායි

ඉන්දියාව වසර 28කට පසුව ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව පැරදවීම පිළිබද හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවීන ඉන්දීය ක්‍රීඩකයන් අදහස් පළ කර තිබෙනවා.

අමාත්‍ය අර්ජුණ රණතුංග කියා සිටියේ 2011 ලෝක කුසලාන අවසන්
මහා තරඟයේදී ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබීම පිළිබදව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

තමා එම තරගාවලියේ විස්තර විචාරයට එක්ව සිටි අතර, සැක කටයුතු කරුණු පිළිබදව විස්තර හෙළි කළ නොහැකි බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා පිලේ තවත් හිටපු ක්‍රිකට් නායකයෙකු වූ කුමාර් සංගක්කාර බී බී සී ලෝක සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ සාක්ෂි පවතින්නේ නම් එවැනි චෝදනා ඉදිරිපත් කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට බවයි.

මේ අතර 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දියාව නියෝජනය කරමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් එනම් ලකුණු 97ක් ලැබූ ගෞතම් ගම්බීර් කියා සිටියේ අමාත්‍ය අර්ජුණ රණතුංග ඒ පිළිබද එල්ල කරන චෝදනාවලට සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි.

එමෙන්ම ඔහුගේ ප්‍රකාශයෙන් තමා මවිතයට පත්වූ බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය දිනූ පුද්ගලයෙකු වෙතින් එවැනි බරපතල ප්‍රකාශයක් කිසිලෙසකින්වත් අපේක්ෂා නොකළ බවත් ගම්බීර් කියා සිටියා.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දීය පිළ නියෝජනය කළ තවත් ක්‍රීඩකයෙකු වන අෂීස් නේරා සඳහන් කළේ මෙවැනි ප්‍රකාශ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවයි.

ඒ පිළිබද අදහස් දැක්වීමෙන්ම ඊට පිළිගැනීමක් ලැබෙන බව ඔහුගේ අදහසයි.

කිසිවෙකු 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ප්‍රශ්න කරන්නේ නම් එය සාධාරණදැයි නේරා පෙරළා පැනයක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ නමුත් අර්ජුන රණතුංග වැනි ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම බලාපොරොත්තු කඩකිරීමක් බවද අෂීස් නේරා වැඩිදුරටත් සඳහන් කළා.

2011 ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු වන හර්බජන් සිංගෙන්ද මේ පිළිබඳ විමසූ විට ඔහු අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළ බවයි ඉන්දීය පී. ටී. අයි. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.


gossip lanka