gossip lanka

''වක්‍ර බදු ආදායම 60%ක් කර ජනතාවට සහන දෙනවා'' - මුදල් ඇමති

රජයේ සමස්ත බදු ආදායමෙන් 80 % ක් ආ‍වරණය කෙරෙන්නේ වක්‍ර බදුවලින් බවත් එය ඉදිරි දෙවසර තුළ 60 % ක් දක්වා පහළට ගෙනවිත් අහිංසක දුප්පත් අසරණ ජනතාවට ඇඟට දැනෙන සහන රැසක් ලබා දෙන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් හමුවෙහි ප්‍රකාශ කළේය.


වක්‍ර බදු ලෙසින් ජනතාව දෛනිකව සිදුකරන මිලදී ගැනීම්වල දී රජය අය කරන බදු මුදල් අඩු කළ විට භාණ්ඩ මිල සෑහෙන ප්‍රමාණයකින් පහළ යනු ඇති බව ද ඍජු බදු ආදායම වැඩි කර ගැනීම තුළින් ලැබෙන මුදල් රටේ ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් යොදවන බව ද ඒ මහතා කීය.

ඇමැති මංගල සමරවීර මහතා පෙරේදා (24) පස්වරුවේ මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර, එම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

දැනට රටේ සමස්ත බදු ආදායම ආවරණය වන්නේ වක්‍ර බදු 80 % ක් හා ඍජු බදු 20 % ක් ලෙස බවත් එය   60 % ක් හා‍ 40 % ක අනුපාතයක් ලෙස ඉදිරියේ දී වෙනස් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කීය.

'බදු ගෙවීම පැහැර හැරලා'

අදායම් මත බදු ගෙවිය යුතු විශාල පිරිසක් රටේ සිටියත් ඔවුන් අතරින් බඳු ගෙවීම් නියමාකාරව සිදු කරන්නේ සුළු පිරිසක් පමණක් බවත් ඉහළ ආදායම් උපයන වෛද්‍යවරුන්, නීතීවේදීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් පවා බදු නොගෙවන පිරිස අතර සිටින බවත් සමරවීර මහතා පැවසුවේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල භාරදුර වගකීම් ඉටු කිරීමේ අභියෝගය ජය ගන්නට තමන්ට ශක්තිය ඇති බවත් මුදල් විෂය සම්බන්ධ දැනුම ඇති රාජ්‍ය ඇමැතිවරයකු සිටින නිසා එය වඩා පහසු වනු ඇති බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ජනපතිවරණය ජයගෙන රට බාර ගන්නා අවස්ථාවේ රට පැවැතියේ දැඩි අර්බුදකාරී තත්ත්වයක බවත් එක් පැත්තකින් රට ආර්ථික වශයෙන් අර්බුදයකට පත්ව තිබිය දී තවත් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ලෙස පරිහානියට ලක්ව තිබූ බවත් හෙතෙම පැවසුවේය.

ජාත්‍යන්තරය තුළ කොන්වීම :

මාධ්‍යය නිදහස නැති කරමින් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම ඇතුළු බරපතළ සිදුවීම් නිසා ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අනතුරකට ලක්ව තිබූ බවත් මේ නිසා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කොන්ව තිබූ බවත් සමරවීර මහතා කීය.

බලය ලබා ගැනීමේ එකම වුවමනාව නිසා හැමදාම වෙන්ව තිබූ පක්ෂ දෙකක් පළමු වතාවට රට වෙනුවෙන් එකතු කර ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති හා අගමැති කටයුතු කළ බවත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය ප්‍රධාන කුලුනු තුන මත ගොඩ නැඟුණු බවත් ඒ මහතා අවධාරණය කළේය.

නව ව්‍යවස්ථාවක් :

ව්‍යවස්ථාවේ තුනෙන් දෙකක බලයක් තුළින් පාර්ලිමේන්තුවේ කළ හැකි වෙනස්කම් සිදු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පසුගිය කාලය තුළ රජය පියවර රැසක් ගත් බවත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

ලෝකය අතහැර තනිව ගමනක් යෑමට කිසිදු රටකට නොහැකි බවත් පසුගිය කාලය තුළ ජත්‍යන්තර විශ්වාසය උපරිමයෙන් දිනා ගැනීමට රජයට හැකියාව ලැබුණු බවත් කී ඒ මහතා යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම හා ජී. එස්. පී. ප්ලස් සහනය යළි ලබා ගැනීම එහි ප්‍රතිඵල බව ද ප්‍රකාශ කළේය.

යහපාලන රජය බලයට පැමිණි පසු ලෝකය සමඟ පැවති සබඳතා තවත් වර්ධනය කර ගන්නා අතරතුර තවත් නව සබඳතා රැසක් ආරම්භ කළ බවත් ඉදිරියේ දී චීනය, සිංගප්පූරුව, ඉන්දියාව ඇතුළු රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් හෙතෙම කීය.

විදේශීය ආයෝජන :

ජනපති හා අගමැති වැඩපිළිවෙළ සම්බන්ධව ජත්‍යන්තර ප්‍රජාව තුළ අද විශාල පිළිගැනීමක් පවතින බවත් ඔවුන් රැසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ පවා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

යහපාලන රජය බිහි වූ අවස්ථාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 17 ක් සඳහා මිල පාලනයක් ඇති කළ බවත්, එම සහනය අද ද ඒ අයුරින්ම ලබා දෙන බවත් ඒ මහතා කීය.

රට දියුණු කිරීම සඳහා විදේශීය ආයෝජන රටට ගෙන්වා ගැනීම අනිවාර්ය බවත් ලබන වසරේ නිදහසේ අභිමානවත් 70 වැනි වසර සමරන විට රට අලුත් ගමනකට යොමු කිරීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නිදහස ලබන විට ආසියාවේ දියුණුම රටක් ලෙස තිබූ ශ්‍රී ලංකාව දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් ලී ක්වාන් යූ සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්නට එදා කල්පනා කළත් අද එම රටවල් ශ්‍රී ලංකාව අභිභවා විශාල ඉදිරි ගමනක් ගොස් තිබෙන බවත් කී ඒ මහතා නිදහසින් පසු ජාති, ආගම්, පක්ෂ මෙන්ම මැතිවරණ සමයන්හි දී කුල වශයෙන් ද බෙදීමේ ප්‍රතිඵල නිසා රටේ ඉදිරි ගමන අඩාල වූ බව ද අවධාරණය කළේය.

ඇමැතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන දිඹුල්කුඹුරේ විමලධම්ම හා නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
gossip lanka