gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

Online Users

gossip lanka gossip lanka gossip lanka

"ඒ පිනම ඇති අපේ පුතාට හොඳ තැනක ඉන්න..." - වසර හයකට පසු පහන්තුඩාවෙන් ඇහෙන වෙනස්ම විදිහේ කතාවක්!

උදේ පිපුණු මලක් වගේ පිරිපුන් හිනාවකින් මුව පුරෝගෙන මේ ඉන්නේ සංජය. සංජය ක්‍රිෂ්ණ ජයකුමාර් තමයි නම. ඔහු වෘත්තියෙන් තරුණ ගණකාධිකාරිවරයෙක්. මේ ඔක්තෝබර් 26 වෙනිදාට ඔහුට හරියටම වසර 28යි.

ඒත් ඉතිං ඒක සමරන්න අද කෝ සංජය. සංජය අපි අතර නෑ. මීට අවුරුදු 6 කට කලින් හරියටම කියනව නම් ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ඔහු හුඟක් දුර ගමනක් ගිහින්.

ඒ හිනාවත් අරගෙන, ඒ ගුණ යහපත්කමත් අරගෙන, ආයෙත් හිනා වෙවී ගෙදර එන්න බලාගෙන කොටහේනේ විද්‍යාල පාරේ සුවිසල් නිවසින් පිටත්ව ගිය සංජය කාටවත් නොකියාම හුඟක් දුර ගමනක් ගිහින්. ආයෙත් නොඑන්නම…

ඒක හරිම අනුවේදනීය කතාවක්. සංජයට පවුලේ හිටියේ එකම එක අක්කයි. එයාගේ උපන්දිනය ඔක්තෝබර් 6 වෙනිදා. තමන්ගේ ජාතිය ආගම කුමක් වුවත් බුද්ධාගමට මුල්තැනදී කටයුතු කරන අභිමානවත් ලංකාපුත්‍රයකු වන ව්‍යාපාරික දේශබන්දු කේ. ජයකුමාර් සිය දියණියගේ උපන්දිනයට ආගමික වතාවත් කරන්න තෝරගත්තේ ශ්‍රී මහා බෝධිය.

අම්මයි තාත්තයි අක්කයි උපන්දිනේට අනුරාධපුරේ යද්දි සංජයට හිතුනේ තමන්ගේ කාර්යාලයේ යාළුවො කට්ටියත් එක්ක පුංචි ටි්‍රප් එකක් යන්න. ගමනාන්තය නුවරඑළිය. සංජය කියන්නේ විනෝද වෙන්න මත්පැන් බොන, මස් මාළු අනුභව කරන දරුවෙක් නෙවෙයි. තාත්තටත් කිසිම බයක් නෑ. හරිම කීකරු පුතෙක්. ඒත් ඒ වෙනවිටත් ඔහු ගණකාධිකාරීවරයකු ලෙස ජාත්‍යන්තර ගණකාධිකරණ ආයතනයක සේවය කළා. මේ ගමන ගිය යාළුවෝ ඔක්කොම එතන අය.

එදා උදේ මේ ඉරණම් ගමන යන්න යාළුවො කට්ටිය කොළඹින් පිටත් වෙනකොටත් නා කපන වැස්ස. ඒත් රත්නපුරේ පහුකරලා බලන්ගොඩ පැත්තට යනකොට යහපත් කාලගුණයක්.

පරිසරයේ ලස්සන පුදුමාකාරයි. තරුණ පිරිස ඒ චමත්කාරයෙන් මුසපත් වෙන්න ඇති. වාහනය වංගු වංගු කඳු නගිද්දී බෙලිහුල්ඔය තානායම පහු කරනකොට ගතට සිතට අමුතුම සුවයක්. හැමෝටම ආවේ අපූරු සෞන්දර්යාත්මක අදහස්. නුවරඑළියට යන්න දවස තාමත් ඉතිරි නිසා ‘පහන් තුඩා ඇල්ලත්’ බලාගෙනම යන්නයි හැමෝගෙම අලුත් අදහස. ඒක කවුරුත් හදිස්සියේ ගත්ත තීරණයක්.

බෙලිහුල්ඔය කියන්නේ වලවේ ගංගාවේ මවු ශාඛාවක්. පටන් ගන්නෙ හෝර්ටන්තැන්නෙන්. පුදුමාකාර ජෛව විවිධත්වයකට බඳුන් වෙමින් අපමණ සුන්දරත්වයක් පරිසරයට මවමින් වංගු වංගු වේගයෙන් පහතට ගලා බසින බෙලිහුල්ඔයේ වටිනාම තැන පහන් තුඩාව. මුළු ඔයේම වතුර පහන්තුඩක් වගේ තැනකින් පහළට ගලා හැලෙනවා.

ඒ ඇල්ල වැටෙන්නේත් පහණක් වගේ වටකුරු ගැඹුරු ආවාටයකට. නෙතට ප්‍රිය සුන්දර දසුනක්.සුන්දරයි වගේම තමයි හරිම ගුප්තයි. හරිම භයානකයි. එදා මෙදා තුර මේ ගුප්ත දිය ඇල්ල හා ඊට යටින් තියෙන ගැඹුරු ආවාටය ජීවිත කීයක් නම් බිලිගෙන ඇත්ද. ඒත් මේ සුන්දර ඇල්ල හා පරිසරය බලන්න මෙතෙන්ට එන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් නම් අඩුවක් නෑ…

සංජයගේ යාළුවො කට්ටිය වැඩි දඟකාරකම් කරන්න ගියේ නෑ. බෙලිහුල්ඔය තානායමට පොඩ්ඩක් උඩින් ගලගම පාරේ ඉහළට ගියාම මේ පහන්තුඩා ඇල්ලට කිට්ටු වෙන්න හරි ලේසියි. නාන්න, වතුරට බහින්න තුන් හිතකවත් අදහසක් මේ කාටවත් නෑ. සුන්දරත්වය බලන්නම පමණමයි. තම තමන්ගේ අත්වල තිබුණු ස්මාර්ට් ෆෝන්වලින් සුන්දරත්වය උකහා ගන්න පමණමයි උවමනාව…

චට පට චට පට ගාලා පින්තූර ගනිපු යාළුවන්ගේ ස්මාර්ට් ෆෝන්වලට ඉවසිල්ලක් නෑ. සංජයත් ඒ කාටවත් දෙවැනි නෑ. හැමෝටම ඕන පින්තූර පුළුවන් තරම් අරන් ඉක්මනින් මෙතනින් එළියට යන්න.

ඒත් එතනින් අඟලක්වත් ඉවතට යන්න සංජයගේ දෛවය සංජයට අවසර දීලා නෑ. නිරතුරුව දෙගොඩ තලා යන ගංගාවේ වේගයෙන් ගලා බසින ජල දහරාවේ අවලම්භිත ශේෂයන් විසින් මනා ලෙස ඔප නංවන ලද ගල්තලාව මත සංජයගේ දෙපා ලිස්සා ගියා.

ඔහු ඇද වැටුණේ පහන්තුඩා ඇල්ල ළඟ ප්‍රධාන ආවාටයට පහළින් ඇති පරිවාර ආවාටයට. එහි ගැඹුර මේ යැයි නොදත් මිතුරන් බලා සිටියදී වරක් දෙවරක් අත ඔසවා ගොඩ එන්නට උත්සාහ කළ සංජයගේ තුරුණු සිරුර ගුප්ත ජල තලයේ සැඟවී නොපෙනී යන්නට වැඩි වෙලාවක් ගත වුණේ නෑ…

යාබද ගලගම ගමේ පලපුරුදු කිමිදුම්කරුවකු වන වසන්ත බන්දුසේන එතෙන්ට එනකොටත් සංජය එයාට යන්න ඕන ඉරණම් ගමන ගිහින් අවසන්. වියෝව දරාගත නොහැකි වුණත් සංජයගේ පියාගේ හිතේ ඒ වන විට මැවිලා තිබුණේ දරදඬු අදහසක්.

“කාටවත් කාගෙවත් මරණය වළක්වන්න බෑ… හැබැයි මෙතන මිනිස්සු මේ විදිහට නිරපරාදේ මිය යන එක නවත්තන්න උත්සහයක් ගන්න පුළුවන්… මේ ස්ථානය රැක බලාගන්න, මෙතෙන්ට එන අයට මෙහි තිබෙන භයානකකම ගැන කියලා දෙන්න, අනතුරක් උනොත් ඒ අනතුරින් ඒ අයව නොපමාව බේරගන්න නරකද මෙතන ජීවිතාරක්ෂකයෙක් දෙන්නෙක් නතර කළොත්…”

ඒ අදහස ආවේ සංජයගේ පියා වන ප්‍රකට ව්‍යාපාරික දේශබන්දු කේ. ජෙයකුමාර් මහතාට විතරක් නෙවෙයි. ඒ වන විට ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතාගේත් උප සභාපති වසන්ත බන්දුසේන මහතාගේත් හිත්වල ඒ ගැන යෝජනාවක් තිබුණා. ඒත් ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන.

තමන්ගේ පුතාගේ වියෝවෙන් වසරක් ගත වෙන දවසේ ඒ වෙනුවෙන් කරන පින්කමක් ලෙස කේ. ජයකුමාර් මහතා පහන්තුඩාව ආසන්නයේ ජීවිත ආරක්ෂකයින් වෙනුවෙන් කුටියක් ඉදි කළා. ඕනෑම ප්‍රමාණයක අනතුරක් සිදුවුණොත් සංචාරකයන්ට උදව් කළ හැකි ලණු, කඹ, ටියුබ්, හුළං පිරවූ බැලූන් ඇතුළු ජීවිත ආරක්ෂක උපකරණ රැසක් එහි තැන්පත් කළා.

සංචාරකයන්ට මග පෙන්වන්න පහසුකම් සලසන්න විතරක් නෙවෙයි, අනතුරක් වුණොත් ජීවිතාරක්ෂාව සලසන්නත් පලපුරුදු සේවකයන් යොදවන්න වගකීම බාරගත්තේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව.

2018 ඔක්තෝබර් 06සංජය අප අතරින් වියෝ වුණත් ඔහු වියෝවී වසරක් සම්පූර්ණ වන්නට මත්තෙන් සබරගමුව සරසවියේ සිසුන් තිදෙනෙක් මේ ස්ථානයේ ගිලී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා. ඒ වනවිට එතන බිලිගත් ජීවිත ගණන 22ක්.

ඒ අතරතුර තම පුතු වියෝවී වසරක් ගතවන දිනයේ යෝජිත ජීවිතාරක්ෂක වැඩපිළිවෙළ පහන් තුඩාවේ යථාර්ථයක් කරන්න ජයකුමාර් මහතා ඇතුළු ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව සමත් වෙලා තිබුණා. හිතවත් ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගයත් නොඅඩුව ලැබී තිබුණා.

වසරෙන් වසර කාලය ගතවෙලා ගිය ඉක්මන කියලත් හිතනවා. දැන් ඒ අනතුර වෙලා හරියටම වසර හයක් ගත වෙලා… 

“අපේ පුතා නැති වෙලා දැන් අවුරුදු හයයි. ඊට පස්සේ අවුරුද්දක් ඇතුළත අපි එතන ජීවිතාරක්ෂක කුටිය ඉදිකරලා ජීවිත ආරක්ෂක සේවාව පටන් ගත්තා. එදා ඉඳන් මේ වනතෙක් එතන කිසිම අනතුරක් වෙලා නෑ. මට සන්තෝසෙ උහුලගන්න බෑ. ඒ පිනම ඇති අපේ පුතාට හොඳ තැනක ඉන්න. ඕගොල්ලන්ටත් පින්අසිද්ධ වෙනවා උදව් කළාට…”

එහෙම කියන ජයකුමාර් මහත්තයාගේ ඇස් දෙක දිලිසෙන අයුරු මම දැක්කා. ඇස් කෙවෙනි අග මෝදුවුණු කඳුළු බිංදු ඔහු මටත් හොරෙන් පිසදා ගත්තා.

ජයකුමාර් මහතා මා දන්නා පරිදි මෙරට මලයාලම් ප්‍රජාව වෙනුවෙන් සමාජයේ වැඩ කරන, පෙනී ඉන්න සාඩම්බර මලයාලම් ජාතිකයෙක්. නිසැකයෙන්ම හින්දු දහම අදහනවත් ඇති. ඒත් ඔහු ජීවිත පරමාර්ථයෙන්ම බෞද්ධයකු බවයි මම දුටු සත්‍යය වුණේ. ජීවිතය ගැන ඔහු බුද්ධාගමට අනුවත් හොඳින් දැන හිටියා.

අපේ ජීවිත හරියට දැල්වෙන පහන් වගේ. පහනක් දැල්වෙන්න පහනට තෙල් තියෙන්නත් ඕන. හොඳ පහන් තිරයක් තියෙන්නත් ඕන. පහන් තිරය කියන්නේ අප වෙන්කරගත් ආයු කාලය. පහනේ තෙල් කියන්නෙ අප ලබා ගත් පුණ්‍ය මහිමය. ඇතැම් විට තෙල් ඉවර වුණාමත් ඒ පහන නිවෙනවා. ඇතැම්විට පහන් තිරය දැවී ඉවර වුණාමත් ඒ පහන නිවී යනවා.

බුදු දහමේ ඕක ලස්සනට කියනවා. හැබැයි ඉතින් පහන් තිරයත් තෙලුත් දෙකම තියෙද්දි, ඒ කිව්වේ ජීවත්වෙන්න ආයුෂත් පිනත් දෙකම තිබියදී කොහෙදෝ යන සැඩ හුළඟක් නිසා නිවී යන පහන් සිළු කොතෙක්ද… බුදු දහමේ ඔය අවස්ථාවට කිව්වේ උපච්ඡේදක මරණය කියලා…

තරුණ සංජය ක්‍රිෂ්ණ කුමාර්ගේ ඉරණමත් අන්න ඒ වගේ බව පිරිසිදු බුදු දහම ගැන හොඳින් දැනුවත් කේ. ජයකුමාර් මහතා දැනගෙන ඉන්න ඇති.

උපුටා ගැනීමකි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka