කතන්දර දෙකක් ඔබට එකවර කියන්න මට හිතුණා. එක කතාවක අපිට අහන්න ලැබෙන්නේ තමන්ගේ පුතාව ඝාතනය කරන්න හෝ පහරදෙන්න ආපු මැරයෝ පිරිසක් එක්ක තනියම සටන් කරපු තාත්තෙක්ගේ කතාවක්. මේ පුතාව පහරදීලා, ඔහුගේ අත්වලට මාංචු දාලා, වාහනයකට පටවාගෙන ගෙදරින් එළියට ඇදගෙන යනවා. මේක දකින තාත්තා වහාම මේ සිද්ධියට මැදිහත් වෙනවා. ඔවුන් පුතාට පහරදෙනවා. තාත්තා පුතාව බේරගන්න උත්සාහ කරනවා. දිගින් දිගටම සිදුවෙන පහරදීම් ඔස්සේ ඇසිඩ් ප්‍රහාරයක් පුතාට එල්ල වෙනවා. පුතා කෑගහනවා. බේරගන්න කියලා. හැබැයි මැරයෝ ඒ ගැන හිතන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ පුතාව වාහනයකට දාගෙන අරගෙන යන්න. එහෙම අරගෙන ගිහිල්ලා පුතාව මරනකල් බලාගෙන ඉන්න තාත්තෙක්ට බැරි බව මේ ලිපිය කියවන ඕනෙම කෙනෙක්ට තේරේවි. මේ මනුස්සයා කරන්න දෙයක් නැති තැන මේ වාහනයේ එල්ලෙනවා. එල්ලෙද්දී පුතා කෑගහනවා අයින් වෙන්න කියලා. තාත්තට එහෙම කරන්න එපා කියලා. තමන්ගේ වේදනාව දරාගෙන කෑගහන පුතා කොයි තරම් අමාරුවෙන් මේ තත්ත්වයට මුහුණ දෙනවද කියලා දන්න නිසා තාත්තා තමන්ගේ දරු සෙනෙහස මිටමොළවගෙන අර වාහනෙත් එක්ක පොරබදනවා.
පුංචි දවස්වල දෝතට ගත්ත දරුවා මුලින්ම ආදරෙන් සිපගත්ත කම්මුල්වලට මැරයෝ ගහනකොට අතපය නොකඩා හදපු පුංචි පැටියගේ අතපය මැරයෝ කඩලා දානකොට තමන්ගේ ආදරණීය පුතා අවුරුදු ගානක් රැකගත්ත පුතා ලොකුමහත් කරගත්ත පුතා හොරු අරගෙන යනකොට ඒක බලාගෙන ඉන්න බැරිවෙච්ච තාත්තා ජීවිතේ පරදුවට තියලා වාහනෙත් එක්ක පොරබදනවා. ඒත් වාහනය එළවන්නේ අමානුෂික මිනිස්සු. තිරිසන්නු. මිනිස්සුන්ගේ ආදරේ නොතේරෙන තිරිසන්නු අතින් තාත්තාව මහ පාරේ මෘත ශරීරයක් බවට පත්වෙනවා. තාත්තව යටකරනවා. දෙතුන් වතාවක් යටකරනවා. තාත්තාව මරලා දානවා. තාත්තාව මරලා දාලා පුතාව අරගෙන යනකොට.
තාත්තා මැරෙන්න ඇති කියලා දන්න පුතා කෑගහනවා. තාත්තාව යටකරනවා පුතා දකිනවා. තාත්තා යටවෙන වාහනේ ඇතුළේ පුතා ඉන්නවා. පුතාගේ බරත් තාත්තාගේ පපුවට බරක් වෙලා දැනෙනවා. පුතාට ගෙදර එන්න ලැබෙන්නේ තාත්තගේ මෘත ශරීරයට අවසන් ගෞරව දක්වන්න. ඔහු එන්නේ බැන්ඩේජ්වලින් ඔතපු ශරීරයක් එක්ක. ඔහුට ඇසිඩ් ගහලා. අතපයවලට පහරදීලා මහ පාරේ දාලා ගිහිල්ලා. අතිශය අමානුෂික සිදුවීමක්. මේ කියන්නේ චිත්‍රපටයක ජවනිකාවක් නෙවෙයි. මේ කියන්නේ ලෝකේ කොහේ හරි සිද්ධ වෙච්ච සිදුවීමක් නෙවෙයි. මේ ලංකාවේ සිද්ධ වෙච්ච, මේ මොහොතේ පවා සජීවීව තියෙන, පහුගිය සතිය නිමාවෙද්දී අපට අහන්න ලැබුණු කාලකණ්ණි කතාවක්. ඒක එක කතාවක්.
අනෙක් කතාව, ගෑස් සිලින්ඩරයක් හොරකම් කරගන්න මනුස්සයෙක්ව මරලා, ඒ මිනිහව වළලපු මිනිස්සුන්ගේ කතාවක්. මේ තුට්ටු දෙකේ හොරු දෙන්නෙක්ගේ බලු වැඩක් ගැන කතන්දරයක්. මේ හොරු දෙන්නා ගෙදරකට ගිහින් ගෑස් සිලින්ඩරයක් හොරකම් කරනවා. ගෑස් සිලින්ඩරය හොරකම් කරනකොට ඒ ගෑස් සිලින්ඩරයේ හිමිකාරයාගේ නිවසේදී හිමිකාරයාව ඝාතනය කරනවා. ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන්. රුපියල් 20,000ක් වත් වටින්නේ නැති ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන් ඔවුන් මේ අහිංසක මනුස්සයව මරලා දානවා. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගෑස් සිලින්ඩරයක බරට සමානයිද? මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගෑස් සිලින්ඩරයක වටිනාකමට සමානයිද කියලා දෙපාරක් තුන්පාරක් හිතලා බලපුවාම තේරෙයි. ඇත්තටම ගෑස් සිලින්ඩරයට වඩා මිනිහෙක්ගේ ජීවිතේ නොවටිනා බව දැනෙන මිනිස්සු තමයි මේ ඝාතනය සිද්ධ කරන්නේ. මේ ඝාතනය සිද්ධ කරපු අමානුෂික හොරු තමන්ගේ ජයග්‍රාහී ගෑස් සිලින්ඩරයත් පොහොර උරයක දාගෙන වටපිට බලමින් සතුටින් යන දර්ශනයක් සී.සී.ටී.වී. කැමරාවල සටහන් වෙලා තිබුණා.
කියන්න තියෙන්නේ පරණ කතාවම තමයි. බණ කියන රටක්, බණ ඇහෙන රටක්, යුද බිමක් වුණේ කෙලෙසා…’ රටකට ඇත්තටම ඇත්තටම අවශ්‍ය වෙන්නේ මිනිස්සු. රටක දේශපාලන වෙනසක් කරලා අලුත් නායකයෙක් පත්කරලා සුන්දර රටක් හදන්න ඔබ හිතාගෙන ඉන්නවා නම් ඒවා හීන. එහෙම කරන්න බෑ. රටක් හදන්න ඕනේ මිනිස්සුන්ගේ හෘදය වස්තුවේ තිබෙන ආදරය පිරුණු ප්‍රේමය පිරුණු අනෙක් අයට ගරුකරන හැඟීම් පිරුණු ජීවිතවලින්. එහෙම නැත්නම් මේ රටට මීට වඩා දුක හිතෙන කතා, බය හිතෙන කතා අහන්න වෙයි.
මිනිස්සු මරණ එක ලේසියි. ජීවත් වෙන එක අමාරුයි. මිනිහෙක්ට මැරෙන්න ගතවෙන්නේ තත්පර ගානයි. හැබැයි මිනිහෙක්ට ජීවත් වෙන්න අවුරුදු ගානක් පොරකන්න සිද්ධ වෙනවා. අවුරුදු ගානක් ඔට්ටු වෙන්න සිද්ධ වෙනවා. මියගිය තාත්තගේ වයස අවුරුදු 62යි. ඔහු අවුරුදු 62ක් ජීවත් වෙන්න කොච්චර වෙහෙසෙන්න ඇද්ද? කොච්චර දහඩිය හෙළන්න ඇද්ද? කොච්චර දුක් කරදර උහුලන්න ඇද්ද? මේ දරුවව ලොකුමහත් කරන්න ඔහු කොච්චර දුක් විඳින්න ඇද්ද? හැබැයි ජීවිතයක් තත්පරයකින් ඉවර කරලා දාලා අපි සතුටින් විසිර යනවා. ජීවිතයක් නිමාවෙනවා. කතාවක් අවසන් වෙනවා. මේ ලිපිය කියවපු ඔබට මනුස්සකම ගැන මම නොකියපු කතා ඇති. ඔබට පුළුවන් ඒවා සිහි කරන්න. මේක මිනිස්සුන්ගේ රටක් තමයි. සත්තුන්ගේ රටක් නෙවෙයි.
ජීවන පහන් තිළිණ