ඇය නමින් ආර්.ජී. සුභන්යා වීරකෝන්. 21 හැවිරිදි ඈ අවිවාහක තරුණියක්.
කෑගල්ල ගලිගමුව පාතබාගේ, අමුහේන්තැන්න ග්‍රාමයේ පදිංචිව සිටි සුභන්යා, පහුගිය දවසක අවාසනාවන්ත ලෙස ජීවිත ගමන නිමා කරන්නේ මොළයේ ලේ ගැලීමක් නිසා මොළය මිය යාම හේතුවෙන්.
ජීවිතය හරිහැටි පටන් ගන්නත් මත්තෙන් මෙයාකාරයෙන් අවසන් ගමන් ගිය ඇය, තවත් ජීවිත දෙකක් ජීවත් කරවන්න හයියක් වෙලයි නේන ගමන් යන්නේ.
ඒ, ඇගේ ශරීර අවයව කොටස් රෝගීන් දෙදෙනකුට දන් දීමෙන්.
එලෙස සුභන්යාගේ ශරීර අවයව කොටස් සාර්ථකව බද්ධ කළ අදාළ රෝගීන් දෙදෙනා ඉතා සුවයෙන් කල් ගෙවන බවයි කෑගල්ල මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා සඳහන් කර තිබුණේ.
ආර්.ජී ධර්මදාස සහ එච්.පී තිලකාවතී මවුපිය යුවළට දාව ගැහැනු දරුවන් තිදෙනෙකු ම සිටින පවුලක බාල ම දියණිය ලෙස උපත ලද සුභන්යා ඉගෙනීමටද දස්කම් පෑ දියණියක්.
කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉහළ ලෙස සමත් වුණු ඇය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න ඇතුළත්ව තිබුණේ කෑගලු බාලිකා විද්‍යාලයට.
විශ්වවිද්‍යාල වරම් අහිමි වුවද සුභන්යා, ඉගෙනීමේ වුවමනාව අතැර නෑ. ඒ අනුවයි ඇය ජපන් පාඨමාලාවක් සහ ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරීමට තෝරාගන්නේ.
එහෙම ඉගෙනුම් කටයුතු කරන ඇය ඉකුත් 09 වැනිදා පෙරවරුවේ හිසේ කැක්කුමක් හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරුව කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණයව ඇත්තේ සුභන්යාගේ හිසේ අධික ලෙස රුධිර වහනය වීමක් සිදුව ඇති බවක්.
පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇයව ජීවත් කිරීමට මහත් පරිශ්‍රමයක් යෙදුව ද 13 වැනිදා ඇගේ මොළය මිය ගොස් ඇති බවට සනාථ කරගෙන.
ඒ අනුවයි දියණියගේ තත්ත්වය සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කර අවසන, ඇගේ අක්මාව වකුගඩු දෙක සහ ඇස් දෙක ඉවත් කරගැනීමට කටයුතු කර ඇත්තේ.
කෑගල්ල මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය ධනුෂ්ක ජයතිලක මහතා සඳහන් කර තිබුණේ, එම අවයවවලින් දැනට අක්මාව හා එක වකුගඩුවක් පසුගිය (14) රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර ඇති බව.
මියගිය සිය දියණිය ගැන මව කියූ කතාවයි මේ,
''මට ගැහැනු දරුවන්ම තුන් දෙනෙක් ඉන්නවා.
ලොකු දුවලා දෙන්නා විවාහ වෙලා වෙනම පදිංචිව ඉන්නේ. බාල සුභන්යා වීරකෝන් දුව අප දෙන්නත් එක්ක ගෙදර ඉන්නවා.
දුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. වේලාව බලපුහාම කිව්වා ජීව විද්‍යා විෂය ඉගෙන ගන්න කියලා. පස්සේ දුව උසස් පෙළ ජීව විද්‍යා විෂය ඉගෙන ගන්න කෑගලු බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.
ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටියත් විශ්වවිද්‍යාලයට යන්න තේරුණේ නෑ.
ඊට පස්සේ ජපන් යන්න ඕනෑ කියලා කුරුණෑගල ජපන් පාඨමාලාවක් හදාරමින් සිටියා. ඉංග්‍රීසි පාඨමාලාවක් ද ගලිගමුවේ හදාරමින් සිටියා.
දුව නිතර ආගමික වැඩවලට නැඹුරු වෙලා හිටියා. සිල් ගන්නවා.
කලින් ලොකු දුවට සුභන්යා දුව කියලා තියෙනවා අවයව දන් දෙන්න ඕනෑ කියලා. මට ලොකු දුව කිව්වේ සුභන්යා දුව මියගියාට පස්සේ.
කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරු අපට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා.
අප කැමති වුණා දුවගේ අවයව දන් දෙන්න. දැන් ඒ අවයව දෙදෙනකුට බද්ධ කරලා හොඳට ඉන්නවා කියලා දැන ගන්න ලැබුණා...''
(උපුටාගැනීම | දිනමිණ)