තණමල්විලදි සිසුන් 22 දෙදෙනෙකුගේ අපයෝජනයට ලක් වු දැරිය තණමල්විල පොලිසිය විසින් වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලට යොමු කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා විසින් දැරිය බිය කරමින් හා දැරිය දැඩි පිඩාවකට ලක් කරමින් ඉතා පහත් ලෙස දැරියට බැණ වදිමින් පහරදීමට උත්සාහ කළ බවට දැරියගේ මව විසින් හම්බන්තොට මුලස්ථාන පොලිසියට හා කොළඹ ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත පෙරේදා (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
දැරියගේ මව පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ නින්දිත බැන වැදීමෙන් පසු මුලුමනින්ම බිඳ වැටුණු දැරිය රෝහලේ ජනේලයකින් පැන සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බවය. පීඩාවට පත් වි ඇති තම දියණියට මේ තරම් පහත් ලෙස බැන නොවදින ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ තමන්ට ද ඔහු පහර දීමට උත්සාහ කළ බව එම මව පොලිසියට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදි අපයෝජනයට පත් දැරියගේ මව මෙලෙස පැවසුවාය.
“මගේ දරුවව මානසික පීඩනයකට ලක් කරලා සිසුන් පිරිසක් විසින් අපයෝජනය කරලා තියෙනවා. ඉතින් මේ සිදුවිම පිළිබඳව අනාවරණය වුනාට පසු අපි මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළා පසුගිය 10 වෙනිදා. ඒ අනුව තණමල්විල පොලිසිය මගින් මගේ දරුවා පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලබුවා.”
“ඒ අනුව 11 දින හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා දරුවාව පරික්ෂා කිරිමට මත්තෙන් දරුවගෙන් කට උත්තරයක් ලබා ගැනීම සිදුකළා. එහිදී වෙච්ච සිදුවිම දරුවා කියන කොටම අධිකරණ වෛද්‍ය වරයා තමුසේ කියන්නේ බොරු. තමුසේ අර අහිංසක කොල්ලන්ව හිර කරන්න නේද හදන්නේ කියලා එක සැරේම ළමයගේ ඇගට කඩාගෙන පැන්නා.”
“ළමය බයවෙලා ඉන්නකොට අධිකරණ වෛද්‍ය වරයා දරුවා මට එලියට දුන්නා ටික වෙලාවක් තියාගෙන ඉඳලා කටඋත්තරය දෙන්න එක්ක එන්න කියලා. ඒ වෙලාවේ දරුවා අඬමින් කිවුවා අම්මේ මම මෙතනින් අරගෙන යන්න කියලා. මම දරුවට කිවුවා මේක ඉවර වෙලා යමු ඉන්න කියලා. ඒ වෙලාවේ වෛද්‍ය වරයාගෙන් දරුවට ඇතිවෙච්ච පිඩනය ඉවසා ගන්න බැරුව රෝහලේ ඉහළ මාලයේ ජනේලයෙන් දරුවා පනින්න හැදුවා.”
“මම අල්ලගත්තේ නැත්නම් දරුවා ඉවරයි. ටික වෙලාවකට පස්සේ වෛද්‍ය වරයා දුව අයේ කාමරයට කැඳවලා කට උත්තරය ලියන්න ගියා. දරුවා අඩමින් යළි වෛද්‍ය වරයාට වෙච්ච සිද්ධිය කියනකොට අධිකරණ වෛද්‍ය වරයා ආයේ දරුවට බැන්නා.
“තමුසෙගේ ඔය බොරු කදුළු හලන්න එපා. මෙතන කිසි දෙයක් වෙලා නෑ. තමුසේ බොරු කියන්නේ කියලා.“
බැරිම තැන මම වෛද්‍ය වරයාට කිව්වා ඔහොම බනින්න එපා. දරුවට වෙච්ච දේ කියන්න දෙන්න කියලා. ඒ වෙලාවේ වෛද්‍ය වරයා මටත් අත ඉස්සුවා ගහන්න. හැබැයි ගැහුවේ නෑ. ඊට පස්සේ වෛද්‍ය වරයා “ඉන්නවකෝ මන් තමුසෙලා දෙන්නට හොද වැඩක් කරන්න. තමුසේ අද මොනවා කිව්වත් උසාවියේදි මේ නඩුව කැඩෙනවා. තමුසෙට ගෙදර යන්න ටිකට් කපන්න දෙන්නේ නෑ. තමුසේ ඔහොමම පරිවාසෙට දමනවා. තමුසේ අර ඔලිම්පික් තේරුච්ච වැදගත් ළමයෙකුත් මේකට පටලවාගෙන. ඒ ළමයගේ දෙමාපියන් වැදගත් මිනිස්සු “ කිය කියා හොඳටම දොස් කිව්වා.”
“අන්තිමේ මමත් දරුවත් හොදටම අසරණ වුණා. කරකියා ගන්න දෙයක් නැති වුණා අපිට. අවසානේදී අධිකරණ වෛද්‍ය වරයාට ඕනි විදියට කට උත්තරය ලිව්වා.”
“පසුව මම මේ වෛද්‍ය වරයාගේ කුරිරු ක්‍රියාකලාපය හා අශිලාචාර හැසිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික ළමාරක්ෂණ අධිකාරියටත්, හම්බන්තොට පොලිසියටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. උගත් වෛද්‍ය වරයෙකු ලෙස දරුවෙකුට කතා කරන්න දන්නේ නැති එක ගැන පුදුම කණගාටුවක් තියෙන්නේ. අපි වගේ තව කොච්චර නම් අසරණ මිනිස්සු මේ විදියට මේ වෛද්‍ය වරයාගෙන් අපහසුතාවයට පත්වෙනවා ඇතිද.”
“ඒ වගේම මේ අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා විසින් ලබා දුන් තීන්දුවත් අපිට පිළිගන්න බැහැ. එම වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් හා දරුවව මානසික පීඩාවට පත් කළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා සම්බන්ධයෙන් නිසි පියවර ගනීවි කියලා විශ්වාස කරනවා.” යැයි ඇය පැවසුවාය.
වෛද්‍ය වරයාගේ මෙම ක්‍රියා කළාපය සම්බන්ධයෙන් අප හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වරියගෙන්ද විමසිමක් කල අතර එහිදී අධ්යක්ෂ වරිය පැවසුවේ තමන් වෙත එවැනි සිදුවිමක් මේ වන තුරුත් වාර්තා වි නොමැති බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන්ද විමසිමක් කල අතර එහිදී එහි ප්‍රකාශිකාවක පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්විමට කටයුතු කරන වත්ය.