රටම කැලඹූ පසුගිය දවස්වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල සිරස්තලය වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ගේ මරණයත් සමග ප්‍රසංග වේදිකාවේ ජයකෙහෙලි නැංවූ ජනප්‍රිය ගායිකා කේ. සුජීවාගේ නමද ඈඳී තිබුණා. ඒකට හේතුව වුණේ ටැටූ ෂොප් එක විවෘත කිරීමේ උත්සවයේදී වෙඩි වරුසාවක් මැද ක්ලබ් වසන්ත මැරෙනකොට සුජීවාටද වෙඩිවැදී තුවාල වීමය.
පාතාල කල්ලියක් සහ ක්ලබ් වසන්ත අතර ප්‍රහාරයට ගායිකාවක් වූ සුජීවා මැදිවූයේ කොහොමද?
ක්ලබ් වසන්ත සහ සුජීවා අතර සම්බන්ධය කුමක්ද?
සුජීවා ආවේ කලාකාරියක ලෙස විවෘත කිරීමට සහභාගි වීමටද?
අන්න ඒ වාගේ ප්‍රශ්න සුජීවාට තුවාල වීමත් සමග පැතිර යන්න පටන් ගත්තා. එලෙසම එම ඕපාදූප පැතිර යන සැණෙන්ම ඒවාට උත්තරද හනි හනිකට ලැබෙන්නට ගත්තා. සමාජ මාධ්‍යවල පළවූ ආකාරයට සුජීවා උත්සවයට පැමිණ ඇත්තේ ටැටූ ආයතනයේ හිමිකරු ලෙස පෙනීසිටින තරුණයාගේ ප්‍රියතම ගායිකාව ඇය නිසාය. සුජීවා පැමිණ ඇත්තේ සිය සැමියා සමගය. ඔහුගේ නම නයන වාසුලය. නයන වාසුලද ක්ලබ් වසන්ත සමග වෙඩි වරුසාවට ලක්ව මරණයට පත්විය. මෙහි තවත් එක් සිදුවීමක් ලෙස මාධ්‍යවල සටහන්ව ඇත්තේ නයන වාසුල සිවුරු හැර ගිය පුද්ගලයකු කියාය. පැවිදි බව අතහැර ගිහියකු වූ පසුව හෙතෙම නයන වාසුල ලෙස නම් දැරුවේය. ආරංචියේ හැටියට නයන වාසුලට ඇති පදමට සල්ලි තියෙනවාය. සුජීවා ඔහු සමග හාදවී ඇත්තේද එම ධනය මුල්කොට ගෙනය යන ඕපාදූපයද සෝෂල් මීඩියාවල සටහන්ව ඇත.
‘පවුකාර සුජීවා නිසා සිවුරු හැරගිය ප්‍රසිද්ධ හිමිනම බල්ලකු සේ වෙඩි වරුසාවකට මැදිව මරුදකී…’ යන පුවත ඊයේ පෙරේදා ඉඳන් සෝෂල් මීඩියාවල සංසරණය වන සිරස්තලය වී ඇති අතර, ආලින්දයේ සිනමාවට ආරංචි සහ ප්‍රවෘත්ති බෙදාහරින රූපවාහිනිී නිවුස්වලදීද එම සංසිද්ධිය ගැන ප්‍රසිද්ධියේ කියැවිණි. මීට ඉහත එක් සතියක නිරූපණ ශිල්පී පියුමි හංසමාලිද පාතාලයකු සමග ගනුදෙනු කරන කළු සල්ලිකාරියක බවට එල්ලවූ චෝදනාවක් මත ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසියට කැඳවනු ලැබුවාය. දැන් එහි උණුසුම යන්නට මත්තෙන් කේ. සුජීවා යන ජනප්‍රිය ගායිකාව පාතාලයේ කල්ලියක් විසින් ක්ලබ් වසන්තට තැබූ වෙඩි වරුසාවට මැදිව තුවාල ලැබුවාය යන ආරංචිය මාධ්‍යවල පළවිය.
මේ හැම දේටම පළමුව විටින් විට සුපිරි ටෙලි තරු සංගීත ශිල්පීන් සහ වේදිකාව සිනමාව විචිත්‍රවත් කළ කලා ශිල්පීන් සහ ශිල්පිනියන් ගැන චාරයක් නැති ඕපාදූපයන්ද කලින් කලට සෝෂල් මීඩියාවල සටහන්ව තිබුණා මතකය.
ඇත්තෙන්ම මේ සිදුවන්නේ කුමක්ද?
සෝෂල් මීඩියා නිසා කලා ශිල්පීන් සවුත්තු වෙනවාද, නැත්නම් කලා ශිල්පීන් නිසා සෝෂල් මීඩියා සවුත්තු වෙනවාද? හරියටම එය හිතාගන්නට බැරිය. ක්ලබ් වසන්තගේ බිහිසුණු මරණය සහ සුජීවාගේ වෙඩිවැදීම මෙයට ඈඳාගත්තේද මේ කතන්දරයට පොටක් පාදා ගන්නටය.
කියන්නට යන කතන්දරය මොකක්ද?
කතන්දරයට මුල්වී ඇත්තේ අපේ කලා ශිල්පීන් දැන් දැන් නොව කලකට ඉහත ඉඳන් තම තරු නාමය සවුත්තු කරගන්නා ආකාරයය. කලක් ඔවුන් දේශපාලනය නිසා නැත්තටම නැතිවිය. රාජපක්ෂලාට ගැතිකම් කරන්නට ගිහින් මුහුණු පොත පුරා මියෙන්නටත් පළමුව නිවන් සුව ප්‍රාර්ථනා කොට ගත්හ. අනෙකුත් දේශපාලන පක්ෂවලට වැඩිය රාජපක්ෂ පාලන සමයේදී කලාකරුවන් සල්ලිවලට යටවිය. එය පටන්ගත්තේ සෝමරත්න දිසානායකලා සහ ජැක්සන් ඇන්තනීලාය. එයට පසු තව බොහෝ සිනමා තරු රාජපක්ෂලාට ගැති වන්නට වූහ. විශාරද මට්ටමේ ගායක ගායිකාවන්ද සුප්‍රකට සිනමා ශිල්පීන්ද එහි විය. අල්ලසට දුන්නේ මොනවාද, අල්ලස් ගත් අය කවුද, නොගත්ත අය කවුද යන කාරණය කවුරුත් නොදත්තද, මහින්ද රාජපක්ෂ බුදු හාමුදුරුවන්ගේ නෑයෝයැයි ජැක්සන් ඇන්තනී බොහොමත්ම ශ්‍රද්ධාවෙන් කියනකොට මදහස පා එය අනුමත කරන්නාක් වැනි සේයාවක සිටි අය අතර එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, මාලිණී ෆොන්සේකාද අසුන් ගෙන සිටියා මතකය.
එයට පසුව භාතිය සන්තුෂ් සහ ඉරාජ් යන කාණ්ඩය හරි මසුරං සෙප්පඩ විජ්ජා නටන්නට ගත්හ. කෝටි ගණනින් ලද රජයේ මුදලින් භාතිය සන්තුස්ලා ප්‍රසංග වේදිකා නිර්මාණය කරමින් ප්‍රසංග පැවැත්වූහ. ඉරාජ් වීරරත්න ගැන නම් ඉතින් මොනවා කියන්නද කියා හිතාගන්න බැරි තරමට ඔහුගේ කල්ක්‍රියාව හොඳ නැතිව ගියේය. සනත් නිශාන්තලා සමග එකතුව ඉරාජ් ගහන මරන කතාද කරන්නට විය.
ටෙලිනාට්‍ය ශිල්පීන් කලා කවය හදාගත්තේ ගෝඨාභයටය. එයට ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු සමග නවක තරුණ රංගන ශිල්පීන්ද එක්වූවා මතකය. අරගලයෙන් පසු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් එනවිට ගෝඨාභයට ලක්ෂ 69ක් ඡන්ද අරන් දෙන්න කැම්පේන් කළ කට්ටිය හොයාගන්නට බැරිව ගියේය. පත්තරයකට ඉන්ටර්විව් එකක් දෙන්නටද ඔවුන් බය විය. හැබැයි ගෝඨාභයට ඡන්දය දුන්නොත් මුළු රටටම කිරි උතුරනවාය කියමින් සෝෂල් මීඩියා පුරා කයිවාරු දෙඩුවේ ඔවුන්ය.
මේ සියලු විකාර විලම්බීත තුළින් පීඩාවට පත්ව රාජපක්ෂ පාලනයෙන් බැට කෑ මිනිසුන් රාජපක්ෂවරුන්ට කඩේ ගිය කලාකරුවන් සමග මොන තරම් වෛරයකින් පසුවූයේද යන වග ඔප්පු වූයේ පළමුව විශාරද මට්ටමේ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ ඛේදනීය මරණයත් සමගය. රාජපක්ෂලාට ප්‍රසිද්ධියේ කඩේ ගිය ඇය සෝෂල් මීඩියා ඔස්සේද තම ලස්සන හිනාව පාමින් ජනතාවට කියා සිටියේ ගෝඨාභයව ජනාධිපති කරන ලෙසය. ටීවී චැනල් පුරා සිංහල ශාස්ත්‍රීය සංගීතය ගැන පණ්ඩිතකම් දෙඩවූ ‘මාමයි බෑනයි’ නාඩගමේ මාමා වූ රෝහණ බැද්දගේද රාජපක්ෂලාට කඩේ යෑමට එකතු විය. නීලාටත් බැද්දගේටත් ඒ වෙනුවෙන් තානාපති තනතුරු ලැබිණි.
ගෝල්ෆේස් අරගලය උත්සන්නව විදේශ රටවලටද විහිදී යද්දී නීලා වික්‍රමසිංහ සේවය කළ තානාපති කාර්යාලය ඉතාලියේදී සිංහල මිනිසුන් විසින් වටලන විට නීලා වික්‍රමසිංහ ඊට මුහුණ දීමට නොහැකිව පීඩනයට පත්ව හෘදයාබාධයකට ලක්ව මියගිය බව කියැවිණි. හදිසි රිය අනතුරකට මුහුණ පෑ හෙළයේ මහා කලාකරු ජැක්සන් ඇන්තනී මියයනතුරුද ප්‍රේක්ෂකයන් වෙතින් අපහාසයට පත්වූයේ නිවන් සුව මියයන්නටත් පෙර ඉල්ලා ගත්තේ රාජපක්ෂලාට ගැතිකම් කළ නිසාය. එලෙසින්ම රාජපක්ෂලාට කඩේ ගිය සෝමරත්න දිසානායක වැන්නවුන් ජැක්සන්ලාට මොන තරම් සුදු හුණු ගෑවාද? ඒ වනවිටද මුළු රටම ඔහු රාජපක්ෂලාට අලෙවි වූ වග දැන සිටියහ.
අරගලයෙන් පසුව කලාකරුවන් දේශපාලනයට අලෙවි වීමේ සහ කඩේ යන කලාවට බොහෝ දුරට තිත තැබිණි. දැන් අලුත්ම වසංගතය වී ඇත්තේ නළු නිළියන් සහ සංගීතවේදීන් නිරූපණ ශිල්පීන් ඇතුළු පිරිස සෝෂල් මීඩියාවල පිස්සු නැටීමය. පියුමි හංසමාලිලා සහ කේ. සුජීවලා සෝෂල් මීඩියාවල බොහෝ විට තම දවසම ගෙවන පිරිසය. වාහනයට පොලිසියෙන් දඩ කොළය ලිව්වත් සුජීවා එය සෝෂල් මීඩියාවලට මුදාහරින්නීය. පියුමි හංසමාලිද පුතාට අරන් දෙන තෑග්ගත්, සැමියාට දෙන සර්ප්‍රයිස් එකත් සෝෂල් මීඩියාවලට මුදාහරින්නීය. ටෙලි තරුද තව තව සංගීත ශිල්පිනියන්ද එය එලෙසින්ම ඉටුකරයි. චන්දිමාල් ජයසිංහගේ පාටියට යන අපේ නිළියෝද එතැන කරන විගඩම් සියල්ලද එක දසුනක් හෝ නෑර සෝෂල් මීඩියාවලට මුදාහරිති. මෙහි පරමාර්ථය කුමක්ද? තම තමන්ගේ ඇඳුමෙහි වටිනාකම පෙන්වීමද? නැත්නම් නටන නැටිල්ලේ තරම පෙන්වීමද? එහෙමත් නැත්නම් තම අඩනිරුවත කෙතරම් අශ්ලීලදැයි යන මේනියාව එය නරඹන්නන්ට පෙන්වීමට ඔවුන් උත්සාහ දරනවාද?
එතැන හේතුව කුමක් වුවද එකී නාඩගමෙන් සිදුවන්නේ ඈ බයිට් වීමය. නැත්නම් හෑල්ලු වීමය.
මෙහි අවසානය කුමක්ද? අවසානයක් නැතුවද? තීන්දුව ඇත්තේ සොෂල් මීඩියාවල ඩෙඟා නටන ඔවුන් අතමය. මන්දයත් මේ බහුබූත නිසා රෙදි ගැළවෙන්නේ ඔවුන්ගේම නිසාය. එලෙසම සෝෂල් මීඩියාවල ඔවුන්ගේ කුණුහරුප සහ බහුරූ කෝලම් බලා එය ආතල් එකක් කරගන්නට කැමැති උන්දැලාට නම් ඔවුන්ගේ රෙදි ගැළවුණත් කමක් නැති බවද මෙතැනදී කිව යුතුය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු