මොහු නමින් පද්මනාදන්ය. මාගේ ආයතනයේ පුද්ගලික ආරක්ෂක නියාමකයකු වශයෙන් සේවය කරනු ලබයි. මොහු අහිංසක නිහතමානීව කටයුතු කරන අයෙකි. මොහු වේලක් පිරිමසා ගන්නේද ඉතා අසීරුවෙනි. වෙනදාට ආහාර වේල ඔහුගේ කුටියට වී සීරැවට ලබාගන්නා අතර, අද දින මා දුටුවේ වෙනම දර්ශනයකි. ඔහුගේ බත්පත කපුටන් වෙත පූජා කරන ආකාරයයි. මා ඒ දසුන ඔහුට නොපෙනෙන සේ ඡායාරූප ගතකළෙමි. පසුව මා ඔහුගෙන් විමසුවේ ‘ඇයි අද කන්න බැරිද’ කියාය. එවිට ඔහුගේ දෙනෙතින් කඳුළු රූරා වැටෙන්නට පටන් ගත්තේය. මා හටද එම දසුන දරාගත නොහැකි විය. ‘ඇයි නාදන් මොකද මේ?’ කියා මා නැවත විමසුවෙමි.
‘අනේ මහත්තයෝ මමත් බෞද්ධයෙක්. මගේ අම්මා නැතිවෙලා අදට අවුරුද්දයි. මට අම්මට පිං ලබාදෙන්න දානයක් දෙන්න විදයක් නෑ. මහත්තයලා දන්නවනේ මගේ තත්ත්වය. මම මේ කපුටන්ට බත් දුන්නේ අම්මාට පිං ලැබේවා කියල සිතාගෙන….’ ඔහු කීවේය. නැවත ඔහුගේ දෙනෙත් කඳුළින් බරවිය.
අනේ දෙවියනේ තවත් අන්ත අසරණ මිනිස්සු තවත් කොපමණ ඇත්ද? මොවුන් මේ තත්ත්වයට ඇදදැමූ කවුරුන් හෝ වේ නම් ඔවුනට ශාප වේවා. මේ අහිංසකයා සතුන්ට ලබාදුන් ආහාර වේලෙන් ඔහුගේ මෑණියන්ට සාංඝික දානයක ආනිශංස ලැබේවා…. නිවනින්ම සැනසේවා කියා ප්‍රාර්ථනා කරමි.
Thilaka Ramawickrama