සුමේධගේ ගම් පළාත අනුරාධපුරයටත් එහා පිහිටි අතිශය දුෂ්කර ගමකි.
එහෙත් ඔහු පාසල් ජීවිතයට සමුදී කොළඹ නගරාසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක රැකියාවට ආවේ දැනට වසර හයකට පෙරය.
එතැන් පටන් සුමේධගේ ජීවිතයේ දැඩි කාලයක් ගෙවුණේ කොළඹ අහස යටය. ඔහුට කොළඹ ගමටත් වඩා හුරු තැනක් වූයේ ඒ නිසාය. ගෙවුණු වසර හය පුරාවටම සුමේධත් සමග එකම නවාතැනේ නතරව සිටි ප්‍රියංකර සුමේධගේ හොඳම මිතුරාය.
ඔහු මිතුරකුටත් වඩා ඥාතියකු තරමට ඔහුට සමීපය, හිතවත්ය. එනිසා දෙදෙනාම ගමෙ ගියේ මාසයකට වතාවකි. එහෙත් පසුගිය වතාවේ කොරෝනා වසංගතයත් සමඟම ප්‍රියංකර ඔහුගේ ගමට ගියේය. අවසානයේ වසංගත තත්ත්වය තුරන් වීමෙන් පසු සුමේධ යළිත් රැකියාවට පැමිණියද ප්‍රියංකර ආපසු නොආවේ මවගේ අසනීප තත්ත්වයත් හේතුවෙනි.
එනිසා කිහිප වතාවක්ම සුමේධ ප්‍රියංකරගේ මව බලන්නට ඔහුගෙ ගමවූ මාතරටද ගොස් ආවේය. ඔය අතරේ විටින් විට ප්‍රියංකරත් සුමේධත් දුරකතනයෙන් කතාබහ කළේය.
මටත් කාලෙකට වැඩට එන්න බැරි වෙයි මචං. සුමේධ කතා කරන විට ප්‍රියංකර නිතරම පැවැසුවේ එලෙසිනි.
“එහෙම කියන්න එපා. ෆැක්ටි්‍රයට කට්ටිය ගත්තොත් උඹට ජොබ් එක නැති වෙයි ඉක්මනට වරෙන්”
“හරි බලමුකෝ”කතාව අවසන් වන්නේ එලෙසින් වුවද කාලයක් යනතුරුම ප්‍රියංකරට රැකියාවට එන්නට ලැබුණේ නැත.
ඔය අතරේ පසුගිය දිනක රාත්‍රියේ හිටි හැටියේ සුමේධගේ බෝඩිම් කාමරයේ දොරට කවුදෝ තට්ටු කළේය. සුමේධ සිතුවේ බෝඩිමේ හිමිකාරිය කුමක් හෝ අවශ්‍යතාවයකට පැමිණ ඇති බවකි. ඉක්මනින් කමිසයක් සොයා හැඳගත් සුමේධ දොර හැරියේ ඇයව පිළිගන්නා අදහසින් වුවද දොරකඩ සිටියේ සිය කල්‍යාණ මිතුරා වන ප්‍රියංකරය.
“අපෙ අප්පේ… මචං… උඹ වරෙන් වරෙන් ඇතුළට. මම හිතුවේ බෝඩිමේ ඇන්ටි කියලා”සුමේධ මිතුරාට කාමරය තුළට එන්නට ඉඩදී දොර වසා දැමුවේය. සිනාමුසුව කාමරය තුළට පැමිණි ප්‍රියංකර කාමරය පුරාම දෙනෙත් යැව්වේය.
“මොකද බං පුරුදු නැති තැනකට ආවා වගේ වටපිට බලන්නේ”ප්‍රියංකර හිනැහුණේ වෙනදාට වඩා වෙනස් විදියට යැයි සුමේධට තේරුම් ගියේය. එහෙත් ඔහු ඒ ගැන අහන්නට ගියේ නැත.
“උඹ ඔහොමම හිටපන්. මං මහින්ද අයියගේ කඬේ වහන්න කලින් රයිස් එකක් දාගෙන එන්නම්. මං උඹ එන බවක් දන්නෙ නැති නිසා එකයි ගෙනාවේ”සුමේධ කමිසයේ බොත්තම් දමමින් කීවේය. ප්‍රියංකර තමා නිදාගත් සුපුරුදු ඇඳ මත වාඩිවූයේ එපා යැයි කියන්නට හිස සලමිනි.
“මොකද එපා කියන්නේ. උඹ කාලද ආවේ”
“ඔව්. සුමේධ මං කාලා ආවේ. ඔයා කන්න. මට කන්න බැහැ”සුමේධ කොතරම් ඇවටිලි කළාද ප්‍රියංකර බත් කටක් හෝ කෑම ප්‍රක්ෂේප කළේය. අවසානයේ සුමේධ තම කෑම පාර්සලය දිගහැරගෙන කද්දි ප්‍රියංකර සිය අතෙහි ගුළි කරගෙන සිටි යමක් සුමේධ අසල මේසය මත තැබුවේය. එතැන වූයේ ඔහුගේ රත්තරං මාලයත්, බ්‍රේස්ලට් එකත්, මුද්දත්ය.
“මේ මොකද බං”
“අනේ මචං මේ ටික විකුණලා සල්ලි ගන්න ඕන. අර හන්දියේ ජුවලරියේ මුදලාලි උඹේ යාළුවනෙ. මිනිහට දීලා මට මේකට වටිනා ගානක් අරන් දියන්.”
“මේ තුන ලක්ෂ එකහමාරක් විතර වටිනවා. ඇයි උඹ මේවා විකුණන්නේ”
“අම්මට බෙහෙත්වලට සල්ලි ටිකක් ඕන”
“ඕක තියා ගනින් මං උඹට ලක්ෂයක් විතර දෙන්නම්. මට පස්සේ ඒ සල්ලි දුන්නම ඇති”
“එහෙම බැහැ මචං. මට මේ ටික විකුණලා දුන්නොත් ඇති”ප්‍රියංකරගේ පෙරැත්ත නිසාම සුමේධ ඊට කැමැත්ත පළ කළේය.
“හොඳටම සීතලයි. මං එහෙනම් නිදා ගන්නවා.”
“හ්ම්… මටත් උඹ එක්ක එන්න හිතයි. අම්මව බලන්න යන්න.”
“ඉතින් මගෙත් එක්ක යමු කැමැති නම්”
“හ්ම්…”සුමේධ ප්‍රියංකරට පොරවා ගන්නට බෙඞ්ෂීට් එකක් දුන්නේය. ඔහු එය පොරවාගෙන යහනේ දිගාවිය. සුමේධ නිදාගන්නේ කාමරයේ බල්බය නිවා දමා ඉන් අනතුරුවය. සෙමෙන් කාලය ගෙවී ගියේය. ප්‍රියංකර කිසිදු හාවක් හූවක් නැත. සුමේධට නින්ද ගියේ ඒ නිහැඬියාව නිසාමය.
එහෙත් හිටි හැටියේ සුමේධ ගැස්සී අවධි වූයේ අමුතු හඬක් ඇසීමෙන් තිගැස්සිලාය. කලබල වූ සුමේධ සිය ජංගම දුරකතනයේ වෙලාව පරීක්ෂා කර බැලුවේය. එහි දොළහයි විනාඩි එක සටහන්ව තිබිණි. තමන්ට ඇසුණු අමුතු හඬ ඇසෙන්නේ ප්‍රියංකරගේ යහන දෙසින් බව සුමේධට තේරුම් ගියේය. ඔහු ඉස්සර කිසි දිනක ගොරවන්නේද නැත. එහෙත් ගොරවනවාද, කෙඳිරි ගානවද කියා සිතන්නට බැරි ඒ හඬ ප්‍රියංකර සිහිනයෙන් බියවී නඟන හඬක් යැයි සිතා සුමේධ යළිත් නින්දට වැටුණේය.
ඔහු යළිත් අවදි වූයේ උදෑසන කුරුල්ලන්ගේ හඬ ඇසීමෙනි. පෙරදින රාත්‍රියේ ප්‍රියංකර පැමිණි බව ඔහුට මතකයට නැඟුණේ එවෙලේය. එහෙත් මේසය මත තිබූ රත්තරං බඩු නැති බව දැකීමෙන් ඔහුට ඉබේටම ප්‍රියංකරගේ ඇඳ දෙස බැලුණේය. ප්‍රියංකර පෙනෙන්නට සිටියේ නැත. යහන මත ඔහු පෙරවූ පොරෝනය පොරවාගෙන සිටි ආකාරයටම අතුරා තිබිණි. ඇඳ ඇතිරිල්ල, කොට්ටය කිසිදු පොඩිවීමක් හෝ නොමැතිව එහෙමම තිබිණි. ප්‍රියංකර කිසි දිනක ඇඳ සකසා පොරෝනය නොනමා සිටින්නකු නොවේ. එසේ නම් ඔහුට කුමක් සිදුවූයේදැයි සුමේධ හැම තැනම සෙව්වේය. වැසිකිළිය සහ අවට වටපිටාවද පරීක්ෂා කළේය. එහෙත් ඔහු සිටියේ නැත.
අවසානයේ සුමේධ ප්‍රියංකරගේ දුරකතනයට ඇමැතුමක් ගත්තේය. එය ක්‍රියාවිරහිතය. වරක් දෙවරක් නොව කිහිප වතාවක් එයට ගන්නට උත්සාහ කළද අසාර්ථක වූ තැන ඔහු ප්‍රියංකරගේ නිවසටද ඇමැතුමක් ගත්තේය. එහි ඇමතුම් ලබාගැනීම අත්හිටුවා ඇති බවට නිවේදනයක් නිකුත් වෙයි. ආර්ථික අපහසුතා හේතුවෙන් දුරකතන බිල්පත නොගෙවීමෙන් එය විසන්ධි කර ඇතැයි සිතුණද සුමේධට ප්‍රියංකර ගැන දුකක්ද ඇති විය.
මිතුරා ගැන කිසිදු තොරතුරක් නොවූ නිසාම සුමේධ රැකියාවට යෑම පසෙක තබා ප්‍රියංකරගේ නිවෙසට යන්නට පිටත් වූයේ සිය බැංකු පොතෙන් ලබාගත් රුපියල් ලක්ෂයකුත් බෑගයට දමාගෙනය. සුමේධ ප්‍රියංකරගේ ගමට යද්දී එදින සවස් භාගය උදාවී තිබිණි. ගමේ තැන තිබුණු සුදු කොඩි නිසාම මරණ ගෙදරක් තිබූ බවට ඉඟි පළවිය. සුමේධ ප්‍රියංකරගේ ගෙදරට යද්දී ගේ ඉදිරිපිට තිබූ තාවකාලික තහඩු ගෙවල් සහ අමතර පුටු දකිද්දීම එහි මරණයක් සිදුව ඇති බව වටහා ගත්තේය. සුමේධ කලබලයෙන් නිවෙස දෙසට දිවයද්දී ප්‍රියංකරගේ මව යම් අපහසුවකින් පිටතට ඇවිද ආවාය. කිහිපදෙනකුගේ කටහඬවල් නිවස පිටුපසින් ඇසුණේය.
“අනේ සුමේධ පුතේ… අපේ කොල්ලා. ඉහ්… ඉහ්…”
ඇය සුමේධව බලාගෙන හඬාවැටුණාය. පසෙක මේසය මත දිගහැර තිබූ මරණ දැන්වීම ඔහුගේ නෙත ගැටුණේ එවෙළේය. ‘ප්‍රියංකර සම්පත් තරුණ මහතාට නිවන් සුව අත්වේවා’ සුමේධ එය කියෙව්වේ වෙව්ලමිනි. ඔහු කලබලයෙන් බෑගයට අතදමා බැලුවේය.
ඉන්පසු රුපියල් ලක්ෂයක මුදල් රැගෙන මවගේ අත තැබූ සුමේධ පෙරදින සිදුවූ කිසිවක් නොකියාම අසල තිබූ අසුනකට බරවී වතුර වීදුරුවක් ගෙන්වාගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියේය.
සත්‍ය කතාවක් ඇසුරිනි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.
කුමාර රත්නායක