“අරලියගහ මන්දිරයේ පැවති මහින්ද රාජපක්ෂ මහතාට සමුදීමේ රැලියට සහභාගි වී අපි 2022. 05. 09 වෙනිදා ආපහු පොලොන්නරුවට යන ගමනේදී නිට්ටඹුව නගරයට එන විට පිරිසක් පොලු අරගෙන පාරේ හිටියා. ඔවුන් අපි ගිය පාරේ වාහන නවත්තමින් තමයි හිටියේ. අපේ වාහනයත් නවත්තලා කිහිප දෙනෙක් පොලු අරගෙන ඇවිත් උඹලා කොහෙද ගියේ කියලා ඇහුවා. මන්ත්‍රීතුමා කිව්වා, අපි වෙඩින් එකකට ගියා කියලා. ඒ එක්කම ඔවුන් කිව්වා, වාහනයෙන් බැහැපල්ලා කියලා. පස්සේ අපි වාහනයෙන් බැහැලා මන්ත්රීතුමයි ආරක්ෂක නිලධාරියයි ආපහු කොළඹ පැත්තට ගියා. මම නිට්ටඹුව පැත්තට වෙන්න පාර අයිනේ හිටියා. පොලු අරගත්ත පිරිස වාහනේ දොර ඇරලා පරීක්ෂා කළා. ඒ එක්කම ඔවුන් කිව්වා, මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීවරයෙක් කියලා. ආපහු මන්ත්‍රීතුමා පසුපස පන්නාගෙන ගිහින් පොලුවලින් ගහනවා මම දැක්කා. මම ඒ ළඟ තිබූණ කොන්ක්‍රීට් පාරක් දිගේ දුවගෙන ගියා.”
2022 මැයි මස 09 වැනි දින අරගලය පැවති දිනයේදී නිට්ටඹුව නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඇතුළු ත්‍රිපුද්ගල ඝාතන නඩුවේදී එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ රියැදුරු ලෙස කටයුතු කළ සමන් කුමාර (38) මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂි දෙමින් ගම්පහ මහාධිකරණයේදී එසේ පැවසීය.
රුවන් පතිරණ, සහන් මාපා බණ්ඩාර සහ රශ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී මේ නඩුව විභාග කෙරේ.
පසුගිය 27 වැනි දින පැවති මේ නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් පස් දෙනකු අධිකරණයට කැඳවා තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් සාක්ෂි දුන් පුෂ්ප කුමාර මහතා මෙසේ ද කීවේය.
“සිද්ධිය වූ දිනයේදී අරලියගහ මන්දිරයේ රැස්වීමට එන්න පාන්දර පහයි තිහට විතර පොලොන්නරුවෙන් අපි පිටත් වුණා. මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාත්, හිටපු පළාත් සභා මන්ත්රීතුමාත්, තවත් මුස්ලිම් මිතුරන් දෙදෙනෙකුත් අපේ වාහනේ ආවා. එදා පෙරවරු 9.30ට විතර අරලියගහ මන්දිරයේ රැස්වීමට අපි පැමිණියා. රැස්වීම දහවල් දොළහයි තිහට විතර ඉවර වෙලා ඇමැති සිරිපාල ගම්ලත් මහතාගේ බත්තරමුල්ලේ නිවෙසට අපි දවල් කෑමට පිටත් වෙලා ගියා. ඒ අවස්ථාවේදී හාරිස්පත්තුවේ ගුණතිලක රාජපක්ෂ මහත්තයාත් අපි කට්ටිය එක්ක ආවා. දවල් කෑම කාලා එකයි හතළිස්පහට විතර පොලොන්නරුවට යන්න පිටත් වුණා. චන්ද්‍රසේන මහත්තයාත් මහේස් මහත්තයාත් අපිත් එක්ක හිටියා.
අපි හෝකන්දර, අතුරුගිරිය අධිවේගී මාර්ගය ඔස්සේ කඩවතට පැමිණ නුවර පාරෙන් ඇවිත් යළිත් මීරිගමින් අධිවේගී මාර්ගයට යන්නයි පිටත්වෙලා ආවේ. කඩවතින් පිටත් වෙලා නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එනකොට නිට්ටඹුව නගරයේදී සවස 2.15ත් 2.30ත් වගේ වෙලාවෙදි තමා මේ සිද්ධිය ඇති වුණේ.
මම මන්ත්‍රීතුමාගේ රියැදුරෙකු ලෙස 2012 ඉඳලා රැකියාව කරනවා. මුලදී පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසත්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් මන්ත්‍රීතුමා කටයුතු කළා.
එම ගමන සඳහා අපි පිටත් වුණේ පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට මන්ත්‍රීවරයාට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් දී තිබූ KG 2649 දරන මෙරූන් පාට ජීප් රථයෙන්.
අපි වාහනයෙන් බැස්ස වෙලාවේදී මන්ත්රීතුමයි ආරක්ෂක නිලධාරියයි කොළඹ පැත්තට පයින් යනවා දැක්කා. ඒ වෙලාවේදී මම ඒ ළඟ තිබුණු කුඩා කොන්ක්‍රීට් පාරක ඇවිදගෙන ගිහින් ළඟ තිබුණු ගෙදරකට කිව්වා මට හැංගෙන්න තැනක් දෙන්න කියලා. ඒ වෙලාවෙ ඒ ගෙදර හිටිය තරුණියක් කිව්වා, වැසිකිළියේ හැංගෙන්න කියලා. මම එහෙම හැංගිලා ඉන්න කොට පොලු අරගත්තු පිරිසක් ඒ ගෙදරටත් ආවා. ඇවිත් මාව අල්ලාගෙන හොඳටම පහර දුන්නා. පොලුවලින් හෙල්මට් එකකින් පහර දුන්නා. මගේ කලිසමත් ගලවා ගත්තා. කලිසම් සාක්කුවේ මගේ සල්ලි, හැඳුනුම්පත, බිරිඳගේ ඒ. ටී. එම්. කාඩ්පත තිබුණා.
මගේ ඔළුව, නළල, නහය තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. එතැනට ආපු තවත් පිරිසක් මෙයා රැකියාවනේ කරන්නේ කියලා කිව්වා. පස්සෙ මට කලිසමකුත් ගෙනත් දුන්නා. එතැන හිටපු අය රුපියල් 5000ක් දීලා ගමට යන්න කියලත් කිව්වා. ඒකත් උදුරා ගත්තා, පස්සේ ආපු කට්ටියක්. ඒ වෙලාවේ මම කරුවල වැටෙනකං ඉඳලා සවස හයයි තිහට විතර මාව කෙනෙක් එක්කගෙන ගිහින් නිට්ටඹුව ලංගම ඩිපෝවේ බස් එකකට ගොඩ කරලා ඕකට වෙලා ඉන්න කියලා කිව්වා.
පස්සේ එතැනට ලංගම නිලධාරියකුත් ආවා. ඇවිල්ලා මගෙන් තොරතුරු විමසුවා. පහුවදා උදේ අටට විතර මම නිට්ටඹුව පොලිසියට ගියා. එහිදී පොලිසිය මගෙන් කටඋත්තර ගත්තා. ඒ මැයි දහ වෙනිදා. මගේ නළලේ තුවාලයට මැහුම් දහයක් විතර දාන්න සිදු වුණා.
දවල් වන විට මන්ත්‍රීතුමාගේ නෝනයි පුතයි පොලිසියට ආවා. මම ඔවුන් එක්ක පොලොන්නරුවේ ගිහින් ඉස්පිරිතාලෙ නතර වෙලා දවස් පහක් ප්‍රතිකාර ගත්තා. මන්ත්රීතුමයි ආරක්ෂක නිලධාරී ගුණවර්ධනයි තවත් අයකුයි ඝාතනය කරලා කියලා දැනගත්තේ එහිදී. ටීවී එකෙනුත් ඒ ගැන මම දැන ගත්තා.
ජූනි තිස් එක් වෙනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළා. පස්දෙනකු හඳුනාගත්තා. මන්ත්‍රීතුමාට උදලු මිටකින් පහර දුන් කෙනයි පොලු අතේ තියාගෙන හිටපු කෙනකුයි දෙදෙනකු මම එහිදී හඳුනාගත්තා. දැන් දැක්කොත් හඳුනාගන්න අමාරුයි.”
මෙහිදී සාක්ෂිකරු අධිකරණ ශාලාවේදී පළමු වන විත්තිකරු, අට වන විත්තිකරු සහ දාහත් වන විත්තිකරු හඳුනාගනු ලැබුවේය. තවද මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනේ අමතර ටයරය සහ පිටිපස දොර අධිකරණයේදී සාක්ෂිකරු හඳුනාගනු ලැබුවේය.
විත්තියේ නීතිඥ ලාල් කුමාරපේළි මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙලෙස ද කීවේය.
“2012 වසරේ සිට රියැදුරෙකු වශයෙන් මන්ත්‍රීතුමා ළඟ සේවය කරනවා. මන්ත්‍රීතුමාට රියැදුරකු අවශ්‍ය බව දැනගත්ත නිසා තවත් හිතවතකු මාර්ගයෙන් එම රැකියාවට ගියා. මට වයස අවුරුදු තිස් අටයි. විවාහකයි. දරුවන් දෙදෙනෙකු සිටිනවා. පොලු අරගෙන පිරිසක් වාහනය නතර කළා. පහළොවක් දාහතක් විතර පිරිසක් එහි හිටියා. මහ පාරෙත් පදික වේදිකාවෙත් කට්ටිය හිටියා. වේලාව දෙකයි හතළිස් පහට තුනට විතර ඇති. මැදිරිගිරියේ ප්‍රාදේශීය සභාවේ සභාපති වික්‍රමාරච්චි මහත්තයා අපි සමඟ හිටියා. නිට්ටඹුව පොලිසියට දුන්න කටඋත්තරය නිවැරදි බව දන්නවා. සභාපතිතුමා දිගටම අපි එක්ක හිටියා. ජීප් රථය නවත්තපු තැන පනහක හැටක විතර පිරිසක් හිටියා. වාහනයට යන්න පාරේ ඉඩ තිබුණත් මහත්තයා කිව්වා නතර කරන්න කියලා. මඟුල් ගෙදරක ගියා කියලා මන්ත්‍රීතුමා කිව්වේ. ඒ වෙලාවේ මන්ත්‍රීතුමා සහ ආරක්ෂක නිලධාරියා යනකොට කට්ටියක් ඔවුන් වටකරගෙන පහර දෙනවා දුටුවා.”
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙසේ ද කීවේය.
“රතු පාට ටී ෂර්ට් එකක් ඇඳලා තොප්පියක් සහ මාක්ස් එකක් දාපු කෙනෙක් මන්ත්‍රීතුමාට පොල්ලකින් ගහනවා දැක්කා. ජූනි මස 10, 15 සහ 25 දිනවලදී අවස්ථා තුනකදී පොලිසියට ප්‍රකාශ දී තිබෙනවා.
පොලිසියේ ප්‍රකාශ මත හඳුන්වා දීම ගැන කිසිවෙකු හඳුනාගත්තේ නෑ. ඡායාරූප වීඩියෝ පට බලලා පුද්ගලයන් හඳුනාගත්තා කියන එක පිළිගන්නේ නෑ.
රූපවාහිනියෙනුත් මගේ ඇස් දෙකෙනුත් මන්ත්‍රීතුමාට පහර දෙනවා දුටුවා. මන්ත්‍රීතුමාට කෙනෙක් ගහනවා දැක්කා කියලා කිව්වේ රතුපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ගහපු කෙනා දැක්කේ නැති නිසා කියන එක පිළිගන්නේ නෑ.”
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔසවල් පෙරේරා, රජයේ නීතිඥ ධනුෂ්ක රාහුබද්ධ මහත්වරුන් සමඟ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.
වැඩිදුර විභාගය ජූලි මස 28 වැනි දිනට කල් තැබිණ.