gossip lanka

"ගැමුණු ඇක්සිඩන්ට් එකකින් නැති වුණා කියලා කවුරුත් හිතාවි" - අනතුරක් ලෙස පෙන්නා අනියම් සැමියා සමඟ එකතු වී, සැමියාව නොඑන ගමන් යැවූ බිරිඳ

දිවයිනේ නන්දෙසින් වාර්තා වන පුද්ගල මරණ බොහොමයක් පවුල් ආරවුල් මත හෝ අනියම් ප්‍රේම සබඳතා මත සිදු වූ ඒවා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ අවස්ථා බොහෝය.

මෙවැනි සිදුවීම් නිසා අවසානයේ මෙලොව තනි වන්නේ මියගිය පුද්ගලයන්ගේ දුවා දරුවන්ය. එසේත් නැත්නම් පොලිස් අත්අඩංගුවට පත්ව හිරේ විලංගුවේ වැටෙන අයගේ දරුවන්ය.
මෙවැනි සිදුවීමක් මිට කලකට පෙර කෑගල්ල පොලිස් කොට්ඨාසයේ මාවනැල්ල පොලිස් වසමෙන්ද වාර්තා විය.

මහමඟ මියගිය පුද්ගලයකුගේ මරණයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ මාවනැල්ල පොලිසිය අවසානයේ ඒ සම්බන්ධයෙන් තරුණ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්තේය. ඊට හේතුව වූයේ එම පුද්ගල මරණය සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා අතර තිබූ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් මත බවට අනාවරණය වීම නිසාය.

මාවනැල්ල පොලිසිය මෙහි සුලමුල හෙළි කරගන්නේ දීර්ඝ විමර්ශනයකින් පසුවය. ඒ පුද්ගල මරණය ගැන තිබූ දැඩි සැකය නිසාය. පොලිසිය එම සැකය ඇතිකර නොගත්තේ නම් එම පුද්ගලයාගේ මරණය අදටත් අබිරහසක්ව සදා වැළලී යනු ඒකාන්තය.

මීට වසරකට පෙර හරියටම කිවහොත් පසුගිය ජූලි 27 වැනිදා රාත්‍රි නවයට පමණ නාඳුනන පුද්ගලයකු මාවනැල්ල පොලිසියට ඇමතුමක් දුන්නේය. ඒ මාවනැල්ල, ගල්අතර යාලේපොළ පාරේ පුද්ගලයකු වැටී සිටින බව කියමින්ය.

සිද්ධිය වාර්තා වීමත් සමඟ මාවනැල්ල පොලිසියේ රාත්‍රි ජංගම රථයේ නිලධාරීන් වහා ගල්අතර ප්‍රදේශයට ගියේය. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් අහල පහළ පිරිස් මාර්ගයේ වැටී සිටි පුද්ගලයා 1190 ගිලන් රථයකින් යටවල රෝහලට රැගෙන ගොස් තිබිණි.

පසුව නිලධාරීන් එය තහවුරු කර ගැනීම සඳහා යටවල රෝහල වෙත ගියද එහිදී නිලධාරීන්ට දැන ගන්නට ලැබුණේ. මාර්ගයේ වැටී සිටි පුද්ගලයාගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔහු යටවල රෝහලෙන් කෑගල්ල රෝහල වෙත රැගෙන ගිය බවය.

මොහොතකට පසු කෑගල්ල රෝහලෙන් පොලිසියට ලැබුණු පණිවුඩය වූයේ රෝහලට ඇතුළු කළ පුද්ගලයා මියගිය බවකි. විමර්ශන ඇරැඹුණේ එතැන් පටන්ය. රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගොස් ඇති බව තහවුරු වීමත් සමඟ නිලධාරීන් ඊළඟට ගියේ ඔහු වැටී සිටි ස්ථානය වෙතය.

එම ස්ථානය පරීක්ෂා කොට සටහන් යොදද්දී මාර්ගයේ කෙළවරකට තිබූ මුවැති මන්නයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. මාර්ගයේ තිබී මන්නයක් හමුවීම නිලධාරීන්ට සැකයක් ගෙන දුන්නද එම සැකය ඉවත නොදමා නිලධාරීන් විමර්ශන ඉදිරියට ගෙනගියේය.

ඒ අනුව නිලධාරීන්ට මුලින්ම අවශ්‍ය වූයේ මියගිය පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමටය. ඉන්පසුව මාවනැල්ල පොලිස් නිලධාරීහු කෑගල්ල රෝහල වෙත පැමිණියහ.

මියගිය පුද්ගලයාගේ සිරුරේ බාහිරව තුවාල කිසිවක් පෙනෙන්නට නොවීය. අතේ, වැළමිටේ සහ පාදයේ පුංචි සීරීම් තුවාල දෙකක් පමණක් නිරීක්ෂණය විය. ඒ අනුව නිලධාරීන් සැක කළේ මොහු මාර්ගයේ ගමන් කරද්දී රිය අනතුරකට මුහුණ දෙන්නට ඇති බවය.

එසේ නම් කිසියම් රථයක රියැදුරකු මාර්ගයේ ගමන් ගත් මොහු හප්පාගෙන යන්නට ඇතැයි පොලිසියේ සැකය විය. ඒ සැකය මත මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීහු පියවර ගත්හ.

ඊට පෙර මියගිය පුද්ගලයාගේ සිරුර හඳුනා ගැනීමක් සිදුවූ අතර මියගිය අය තම පුතා බව ඔහුගේ මව හඳුනා ගත්තාය. ඒ අනුව ඔහු ගල්අතර ප්‍රදේශයේ පදිංචි පහළවියන්තලාගේ ගැමුණු කුමාර බවත් හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන බවත් පොලිසිය අනාවරණය කර ගත්තේය.

මියගිය ගැමුණු කුමාර කලක් විදේශගතව සිට මෙරටට පැමිණ ඇති බවත් ඔහු මාස කිහිපයක සිට බිරියගෙන් වෙන්ව සිය මව සමඟ ජීවත්වන බවටත් හෙළිකර ගැනීමට නිලධාරීන් සමත් විය. එමෙන්ම මොහු දෙදරු පියකු බවටද තහවුරු විය.

ඉන් අනතුරුව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිරුර කපා මරණයට හේතු වූ කරුණු කාරණා සෙවීමට අධිකරණ වෛද්‍යවරයා කටයුතු කළද ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් එම පරීක්ෂණයේදී හෙළි වූයේ නැත. මේ නිසා ගැමුණු කුමාරගේ මරණය සම්බන්ධයෙන් ලැබුණේ විවෘත තීන්දුවකි.

කෙසේ වෙතත් ගැමුණු කුමාර සිය බිරියගෙන් වෙන්ව ජීවත්වීම නිසා ඔහුගේ මවට පුතාගේ මරණය සැකයක් ගෙන දුන්නාය. මේ බව ඇය විමර්ශන පවත්වන නිලධාරීන්ටද කීවාය. ඒ නිසා ගැමුණු කුමාරගේ මරණය ගැන ඇතිව තිබෙන එම සැකය පසුපස පොලිසිය විමර්ශන ඇරැඹීය.

මවගේ ප්‍රකාශය ඔස්සේ කරුණු කාරණා විමසද්දී නිලධාරීන්ට අනාවරණය වූයේ එදින රාත්‍රියේ ගැමුණු සිටියේ බීමතින් බවය.

සිද්ධිය වුණු දින රාත්‍රියේ “මම ඔය ගෑනිගේ හොරේ අල්ලගෙන එන්නම්” යැයි සිය මවට කී ඔහු නිවෙසින් පිටව ගිය බවටත් ඉන් පසුව ඔහු මෙලෙස මාර්ගයේ වැටී සිට ඇති බවටත් නිලධාරීන්ට තොරතුරු ලැබුණේය. මොහු රිය අනතුරකට භාජන වන්නට ඇති බව සැක කළ නිලධාරීන් මොහු අනතුරට පත්කොට පලාගිය රථය සෙවීමට උත්සුක වූයේ ඉන් පසුවය. මෙසේ එම රථය ගැන විපරම් කරද්දී විමර්ශන නිලධාරීන්ට තවත් තොරතුරක් ලැබුණේය. ඒ කළු පැහැති මෝටර් රථයක් එම මාර්ගයේ නතර කර තිබූ බවටය.

ගැමුණු කුමාර වැටී සිටි ස්ථානයේ සී.සී.ටී.වී. කැමරා ස්ථාපිත වී නොතිබිණි. එය විමර්ශනයට මහත් බාධාවක් ගෙන දුන්නේය. ඒ නිසා එම මාර්ගයේ ඉදිරියට සහ පසුපසට ඇති සෙසු සී.සී.ටී.වී. කැමරා වෙත පොලිස් ඇස යොමු වුවද එයද එතරම් සාර්ථක නොවීය.

කළු පැහැති මෝටර් රථය පිළිබඳ තොරතුරු නිලධාරීන්ට ලැබෙන්නේ ඔය අතරය. ඉන් පසුව පොලිසිය කළු පැහැති මෝටර් රථය පසුපස ඉව ඇල්ලුවේය. ඒ අතර සිද්ධිය වූ මොහොතේ මාර්ගයේ ගමන්ගත් බස් රථ ඇතුළු වෙනත් වාහන පසුපසද නිලධාරීහු විමසිලිමත් වූහ.

“පස්සේ අපිට තවත් තොරතුරක් ලැබුණා. මාවනැල්ල පොලිස් වසමේ හිඟුල පැත්තේ ගෙදරක ඔය කියන වර්ගයේ කාර් එකක් තියෙනවා කියලා. කතාව හරි, ඒ වර්ගයේ කාර් එකක් මිනිහට තියෙනවා කිව්වාට එක පාරට අපිට ඒ පුද්ගලයා අත්අඩංගුවට ගන්න බැහැනේ. ඒ නිසා අපි රහසිගතව ඒ ගැන සොයද්දී අපිට දැනගන්නා ලැබුණ මිනිහා ටුවරිසම්වලට සම්බන්ධ කෙනෙක් කියලා.”ඔන්න ඔහොම කරුණු කාරණා සොයද්දී අපිට තවත් තොරතුරක් ලැබුණා. මියගිය ගැමුණු කුමාරගේ බිරිය ඒ කියන පුද්ගලයාත් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා කියලා.

''ගැමුණුගේ බිරිය ඔය කාර් එක අයිති පුද්ගලයාට අයිති හෝටලයක කාලයක් රස්සාව කරලා තියෙන බවටත් අපිට දැනගන්න ලැබුණා. ඒ හේතූන් මත අපි ඔය සංචාරක ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයා ගෙනුත් ප්‍රශ්න කළා. ඒත් මිනිහාගෙන් කිසිම දෙයක් අපිට හෙළිවුණේ නැහැ.”ගැමුණු කුමාරගේ සැක සහිත මරණය ගැන විමර්ශන ඇරැඹූ ආකාරය මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ එලෙසය.

“පස්සේ අපි ගැමුණු කුමාරගේ මරණය ගැන එයාගේ බිරියගෙනුත් කිහිප වතාවක්ම ප්‍රශ්න කළා. ඒත් ඒ ගෑනු කෙනා කිව්වෙම මම එයාගෙන් අයින්වෙලා ඉන්නේ. ඒ නිසා මම ඒ ගැන මුකුත් දන්නේ නැහැ කියලයි. කොටින්ම ගැමුණුගේ මිනිය මෙයා භාරගෙන තිබුණෙත් නැහැ. අම්මා තමයි භාරගෙන අවසන් කටයුතු සිදුකරලා තිබුණෙත්.

ගිය අවුරුද්දේ දෙන්නා අතර ඇතිවුණු ආරවුල් නිසා මේ කාන්තාව දරු දෙන්නත් අරගෙන ඒ පැත්තේම ගෙයක් කුලියට අරන් ජීවත් වෙලා තිබෙනවා. පවුල් ආරවුල් ඇතිවෙලා තිබුණෙත් ඒ කාන්තාවයි අර ටුවරිසම් කරන පුද්ගලයා අතරයි තිබූ අනියම් සම්බන්ධතාව නිසා බවට අපිට තොරතුරු ලැබුණා.” ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

කෙසේ වෙතත් ගැමුණු කුමාරගේ මරණය ගැන ඔහුගේ බිරියගෙන් හෝ ඇගේ අනියම් පුරුෂයාගෙන් කිසිදු තොරතුරක් හෙළි නොවුණද තිබූ සැකය අතහැර දැමීමට ස්ථානාධිපතිවරයා කැමති නොවීය. සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් ලැබුණු උපදෙස් මත ස්ථානාධිපතිවරයා වරින් වර ගැමුණුගේ බිරියත් අනියම් සැමියාත් පොලිසියට කැඳවා ප්‍රශ්න කළද ඔවුන් නිලධාරීන්ට එවරද පැවසුවේ තමන් ගැමුණුගේ මරණය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය.

සී.සී.ටී.වී. කැමරා ගැමුණු වැටී සිටි මාර්ගය අසල ස්ථාපිත නොවීම විමර්ශනයට මහත් ගැටලුවක් ගෙන දුන් අතර විමර්ශනය ඒ නිසා අසාර්ථක වූ තැන තාක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව ගැමුණුගේ බිරියගේ සහ ඇගේ අනියම් සැමියා බව කී පුද්ගලයාගේ දුරකථන අංක ලබාගෙන අධිකරණ නියෝග මත දුරකථනවලට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට නිලධාරීහු කටයුතු කළහ.

එම වාර්තාව සියුම් ලෙස නිරීක්ෂණය කරද්දී ගැමුණු කුමාර මියයන මොහොතට පෙර සහ පසු බිරියත් අනියම් සැමියාත් අතර දුරකථන පණිවුඩ හුවමාරු වී ඇති ආකාරය පොලිසියේ සැකය තවත් වැඩි කරවන්නට සමත් විය.

ඒ බව සඟවා නිලධාරීන් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නා පොලිසියට නැවත කැඳවා යළි ප්‍රශ්න කරන්නට විය. ඔහු පෙර පරිදිම බොරු බේගල් ඇදබෑවේය. අවසානයේ නිලධාරීන් ලබාගත් දුරකථන වාර්තා ඔහුට පෙන්වමින් කරුණු කාරණා විමසන්නට විය.

“තමන්ට අපිට ඕනෑ තරම් බොරු කියන්න පුළුවන්. ඒත් තාක්ෂණයට බොරු කරන්න බැහැනේ. මේවා අපි හදපුවා නෙමේනේ.”එසේ කියමින් සිද්ධිය වූදා ඔහු රැඳුණු තැන අනියම් බිරිය සමඟ කතාබහ කළ අවස්ථා එකක් නෑර නිලධාරීන් ඔහුට පෙන්වමින් තොරතුරු විමසීය. ඒත් ඔහු ඒ කිසිවක් ඒත් පිළිගත්තේ නැත. අවසානයේ ස්ථානාධිපතිවරයා ඔහු ඉදිරියේ බොරු රඟපෑමකද නිරත විය. ඒ ඔහුගෙන් ඇත්ත හෙළිකර ගත යුතු නිසාය.

“මේ අහනවා මිනිස්සු අතින් ඕන තරම් ඇක්සිඩන්ට් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් අපිට ඇත්ත නොකිව්වොත් මේක මර්ඩර් එකක් වෙනවා. ඇත්ත කිව්වොත් මේක ඇක්සිඩන්ට් එකක් විදියට ඉවර කරන්නත් පුළුවන්. තමන් තීරණය කරන්න අපිට ඇත්ත කියනවද බොරු කියනවද කියලා.”ස්ථානාධිපතිවරයාගේ එම උගුලට අනියම් සැමියා හසුවිය. ඒ වන විට ඔහු සිටියේ බෙල්ල ළඟටම හිරවෙලාය.

“මම ඇත්ත කියන්නම් සර්, එදා මම එයා හම්බවෙන්න එයාලා ගෙදරට ආවා. එතැනදි…”ඔහු ඇත්ත කතාව ස්ථානාධිපතිවරයා හමුවේ එලෙස පැවසුවේ පොලිසිය ගැමුණු කුමාරගේ මරණය රිය අනතුරක් බව පවසමින් තමාව මුදා හරින බවට තිබූ විශ්වාසය නිසාය. නිලධාරීන්ද ඔහුට සැකයක් නොසිතෙන පරිදි ප්‍රශ්න කොට ඔහුගේ ප්‍රකාශයක්ද සටහන් කර ගත්තේය.එම ප්‍රකාශයෙන් ගැමුණු කුමාරගේ බිරිය සමඟ තිබූ අනියම් සබඳතාවද හෙළි විය.

කෙසේ වෙතත් ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු තමා මුදාහරිනු ඇතැයි ඔහු සිතුවද නිලධාරීන් ඔහු පොලිසියෙන් පිටතට යැව්වේ නැත.

“ඔයා කූඩුවට වෙලා ඉන්නකො. අපි ඔයා කියන කතාව ඇත්තද නැත්තද කියලා අරයාගෙනුත් දැනගමු කෝ.”එසේ කී ස්ථානාධිපතිවරයා ඊළඟට පොලිසියට කැඳවූයේ ගැමුණුගේ බිරියවය. ඒ වනවිට ඇය කිහිප වතාවක්ම පොලිස් ප්‍රශ්න කිරීමට භාජන වී තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයා එදිනද ඇගෙන් සැමියාගේ මරණය ගැන කරුණු කාරණා විමසීය. ඇය එදා ද පෙර දිනවල කී බොරුවම කීවාය. නිලධාරීන් ඇයට දුරකථන වාර්තා පෙන්වමින් ප්‍රශ්න කළද ඇය ඒ කිසිවක් පිළිගැනීමට අකැමැති වූවාය.

“දැන් තමන් කොච්චර බොරු කිව්වද ඒ වුණාට අපි දැන් සේරම සොයාගෙන ඉන්නේ. එදා රෑ අර මනුස්සයා කාර් එකෙන් තමන් හම්බවෙන්න ආවානේ.”ස්ථානාධිපතිවරයා ප්‍රශ්න කළේය.

“අනේ නැහැ සර්. මම එයාව එදා දැක්කෙත් නැහැ.”

“බොරු කියන්න එපා අර කූඩුවේ ඉන්නේ කවුද කියලා පේනවා නේද, එයා සේරම අපිට කියලා ඉවරයි. තමන් තවදුරටත් බොරු කිව්වොත් අපි තමන්ව උසාවියට දානවා බොරු ප්‍රකාශ කරනවා කියලා.”ස්ථානාධිපතිවරයාගේ කතාවෙන් ඇය දැඩි සේ බියට පත්වූවාය. ස්ථානාධිපතිවරයා ඇගේ අනියම් සැමියා පැවැසූ කරුණු කාරණාගෙනහැර දක්වමින් ඇගෙන් ප්‍රශ්න කරන්නට විය. අනියම් සැමියා ඕ.අයි.සී. මහත්තයාට සියල්ල පවසා ඇති බව ඇය සිතුවාය. එසේ නම් සිද්ධිය තවත් සැඟවීම හිරේ විලංගුවේ වැටෙන වැඩක් බව ඇයට දැනිණි.
“මම ඇත්ත කියන්නම් සර්. එදා එයා මාව හම්බවෙන්න කළු පාට කාර් එකෙන් අපේ ගේ ළඟට ආවා.”ඇය සිදුවූ සියල්ල එකක් නෑර ස්ථානාධිපතිවරයා ඉදිරියේ පැවැසුවාය. නිලධාරියකු ඇගේ කතාව සටහන් කර ගත්තේය.

“හරි මෙයාව අනිත් කූඩුවට දාන්න.”ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මාස තුනක් තිස්සේ සැඟව තිබූ ගැමුණු කුමාරගේ මරණයේ සුලමුල හෙළි කර ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ ඉන් පසුවය. ඒ, තාක්‍ෂණය මෙන්ම පොලිස් උපායද භාවිත කිරීම නිසාය.

“ගැමුණු කියන පුද්ගලයා 2012 ඉඳන් විදේශගතව ඉන්නේ. ඉඳලා හිටලා එනවා යනවා. ඒ අතරේ මේ කාන්තාව ඔය සැකකාර පුද්ගලයාගේ හෝටලයක වැඩට ගිහින් තියෙනවා. එතැනදි දෙන්නා අතර අනියම් සම්බන්ධයක් ඇති වෙලා. මේක දිගටම පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ සම්බන්ධය ගැමුණුට දැනගන්න ලැබුණාට පස්සේ දෙන්නා අතර ආරවුල් ඇතිවෙලයි දෙන්නා දෙපැත්තට වෙන්නේ.”

“එදා ඔය අනියම් පුරුෂයා මේ ගෑනු කෙනාව හම්බවෙන්න එයාට අයිති කාර් එකේ ඇවිත් තියෙනවා. ඒ, ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.”රෑ 8.30ට විතර මේ පුද්ගලයා ගෑනු කෙනාගේ ගේ ළඟ බැහැලා කාර් එක ටිකක් ඉස්සරහ නතර කරගෙන ඉන්න කියලා ඩ්‍රයිවර්ට කියලා තියෙනවා.ඒ වෙලාවේ ගැමුණු මත්පැන් බීලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා එයා ගෑනිගේ හොරේ අද අතටම අල්ල ගන්නවා කියලා අම්මට කියලා ඔය ගෑනි නතර වෙලා ඉන්න ගේ ගාව මන්නයකුත් අතේ තියාගෙන හැංගිලා බලාගෙන ඉඳලා තියෙනවා.”
 
“ඔය වෙලාවේ තමයි එයාගේ ගෑනියි අනියම් සබඳතාව පවත්වාගෙන ගිය පුද්ගලයායි ඇවිත් නතර කරපු කාර් එකේ පිටිපස්ස සීට් එකට නැඟල තියෙන්නේ. ඒක දැකපු ගැමුණු මන්නයත් අරගෙන දුවගෙන ඇවිත් කාර් එකේ බොනට් එක උඩ නැඟලා කෑ ගහ ගහ මන්නයෙන් කාර් එකේ වින්ස්ක්‍රීන් එකට ගහලා තියෙනවා. එතැනදී අර ව්‍යාපාරිකයාට කරගන්න දෙයක් තිබිල නැහැ.

මිනිහයි ගැමුණුගේ බිරියයි දෙන්නම බය වෙලා. මිනිස්සු මෙතැනට දුවගෙන ආවාම සේරම මාට්ටු වෙනවානේ. ඒ පාර මිනිහා ඩ්‍රයිවර්ට කියලා තියෙනවා ඕකව පෙරළගෙන යමු කියලා. ඩ්‍රයිවර් කාර් එක ඉස්සරහට අදිද්දි බොනට් එකේ උඩ හිටිය ගැමුණු බිමට වැටිලා තියෙනවා. අතේ තිබුණු මන්නය පැත්තකට විසි වෙනවා. මෙයාලා කාර් එක නතර නොකරම පලා යනවා.

මන්න පහර වැදිලා කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු වෙලා තියෙනවා. ඒ නිසා අනියම් බිරිය ත්‍රීවීලර් එකට දාලා ඩ්‍රයිවරුයි අනියම් පුරුෂයායි යනවා යාළුවෙක්ගේ ගරාජ් එකකට කැඩුණු වින්ඩ්ස්ක්‍රීන් එක ගලවලා අයින් කරන්න.

අලුත් වින්ඩ්ස්ක්‍රීන් එකක් කාර් එකට දාගෙන ආවත් ඒක හරියන්නේ නැහැ. පස්සේ කෑගල්ලෙන් වෙනත් වින්ඩ්ස්ක්‍රීන් එකක් දාගෙන මෙයාලා මුකුත් වුණේ නැති විදිහට ඉන්නවා. ගැමුණු මැරිලා හිටිය අර පාරේ තියලා අහුවෙන්නේ ගැමුණු වින්ඩ්ස්ක්‍රීන් එකට ගහපු මන්නෙ තමයි. ඕක තමයි ඇත්ත කතාව. පස්සේ දෙන්නම කතාවෙලා මාස තුනක් තිස්සේ මේක වසන් කළා. අන්තිමට එයාලගේ ප්‍රකාශ අනුව එදා කාර් එක එළවපු රියැදුරාත් කාර් එකත් අපි අත්අඩංගුවට ගත්තා.”

“ඕක තමයි කියන්නේ අපරාධයක් කරලා හැමදාම වසන් කරගෙන ඉන්න බැහැ කියලා ගැමුණුගේ මරණය ඇක්සිඩන්ට් එකක් කියලා අපිටත් විමර්ශන අවසන් කරන්න තිබුණා ඒත් අපිටත් එයාගේ අම්මටත් ගැමුණුගේ මරණය ගැන සැකයක් තිබුණා. ඒ ඔස්සේ මාස තුනක් තිස්සේ කරපු විමර්ශනය නිසා ඔය තුන් දෙනා මෙහෙම කොටු වුණේ නැත්නම් ගැමුණු කුමාරගේ මරණයක් අබිරහසක් වෙන්න ඉඩ තිබුණා. එතකොට ගැමුණු ඇක්සිඩන්ට් එකකින් නැති වුණා කියලා කවුරුත් හිතාවි” යැයි මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අවධාරණය කළේය.

මාස තුනක් තිස්සේ කට්ටි පනිමින් සිටි ගැමුණුගේ බිරිය, ඇගේ අනියම් සැමියා සහ රියැදුරා මාවනැල්ල මහෙස්ත්‍රාත් ඒ. එස්. අනුරාධ වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ගැමුණු කුමාර වළපල්ලට යද්දී ඔහුගේ බිරිය සහ අනියම් සැමියා සිපිරිගෙට ගාල් වූ අතර ඔවුන්ට සිදුවූ දෙයින් මේ වනවිට අසරණ වී ඇත්තේ ඔවුන්ගේම දරුවන්ය.
කීර්ති මෙන්ඩිස්
gossip lanka