gossip lanka

සෞදියේ වැඩකරන බිරියට හාම්පුතාගෙන් අතවරවූ පසු ලංකාවේ සැමියා දිවිනසාගෙන

ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියට ගොස් සේවය කරමින් සිටි සිය බිරිය ලිංගික අතවරයකට හා වධහිංසාවට ලක්වීමත් සැලවී එයට සාධාරණයක් ඉෂ්ඨ නොවූ පසු සිත් තැවුලට පත් ඇගේ ශ්‍රී ලංකාවේ සිටින සැමියා සියදිවි නසාගත් පුවතක් පසුගිය (07) මාතලේ, දඹුල්ල, අලකොළවැව ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි සිව්දරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ආර්ථික අපහසුතා හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් හරහා ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියට ගොස් ඇත්තේ මීට මාස අටකට පමණ පෙර 2023 නොවැම්බර් 14 වැනිදාය.

සෞදි අරාබි නිවසේ හිමිකරු ඇයව තම ගෘහයට අනුබද්ධව සේවයට ගත් බව කියැවුණ නමුත් තවත් නිවාස හතරකට මෙහෙකාරියක් ලෙස යවා‍ වෙනම මුදල් උපයාගෙන තිබූ අතර නිවසේ හිමිකරු ඇයට වරින්වර වද හිංසා පමුණුවා ඇති බවට තොරතුරු වාර්තා විය.

ලංකාවේ නිවසේ ස්වාමියාට ඇයට කථාකරන්නට ඉඩක් ලබාදී නැත. මේ අතර හිමිකරුගේ පුත්‍රයා ඇයට ලිංගික අතවර කර තිබෙන බවද සැලවී ඇත.
වධ හිංසාවට ලක් වූ කාන්තාව දින 15කට වැඩි කාලයක්  නිසි පරිදි ආහාර නොමැතිව කාමරයක තබාගෙන සිට ඇති අතර තමාට ඉඩක් ලද අවස්ථා‍වක සොරෙන් ලබාගත් ඇමතුමකින් සෞදියේම තවත් තැනක සේවය කරමින් සිටි ඇගේ සහෝදරියට ඇගේ ‍දුක පවසා ඇත.

සහෝදරිය වහාම සෞදි පොලිසියට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ ගැන පැමිණිල්ලක් කර ඇත.

පසුව සෞදි පොලිසිය ඇය බේරාගෙන සිය සොහොයුරියගේද සහය ඇතිව මව්බිමට එවා තිබූ අතර ඉන් අනතුරුව දඹුල්ලේ රෝහලේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණි කාන්තාව තමන්ට සිදුවූ අසාධාරණය සැමියාට පවසා තිබේ.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් කළත් බිරිඳට සාධාරණයක් ඉටුවී නැත. කලකිරුණු සැමියා සියදිවි හානිකරගෙන ඇත්තේ ඉන් පසුව බව පැවසේ.
මේ ගැන පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
gossip lanka