බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1008 දරන ශීඝ්රගාමී දුම්රියේ ගමන් ගත් එංගලන්ත ජාතික විදේශික සංචාරක තරුණියන් දෙදෙනකුට දුම්රියේ මැදිරියක් තුළ දී ලිංගික අතවර කළැයි සැකපිට එළවළු වෙළෙන්දකු පෙරේදා (25) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පවසයි.
කොටගල මවුන්ටන් කඩ වීදීයේ පදිංචි 52 හැවිරිදි එළවළු වෙළෙඳාම් කරන පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති වයස අවුරුදු 19 – 24 අතරේ පසුවෙන එංගලන්ත ජාතික විදේශික තරුණියන් හයදෙනෙකු ඇල්ල ප්රදේශයේ සංචාරය කර පසුව එම සංචාරක තරුණියන් පිරිස නුවරඑළියට යෑම සඳහා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1008 දරන ශීඝ්රගාමී දුම්රියට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගොඩවී ඇත.
මේ අතර කොටගල ප්රදේශයේ එළවළු වෙළෙඳාම් කරන සැකකරු එළවළු මිලදී ගැනීමට බණ්ඩාරවෙල නගරයේ තොග වෙළෙඳපළට පැමිණ එළවළු මිලදී ගෙන යළි කොටගල යෑමට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ එම දුම්රියට දුම්රියට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගොඩ වී තිබේ.
මෙසේ දුම්රියේ ගමන් කරමින් සිටියදී එහි මැදිරියක පාපුවරුව අසල සිටි මෙම එංගලන්ත ජාතික විදේශික තරුණියන් පිරිස සමඟ සැකකරු හිතවත් වී ඔවුන් සමඟ කතා කරමින් යන අතරතුරේ දී සැකකරු එම සංචාරක කණ්ඩායමේ සිටි අවුරුදු 19 සහ 21 වයසේ පසුවෙන එංගලන්ත ජාතික විදේශික තරුණියන් දෙදෙනකුට දුම්රිය තුළ දී අතින් අල්ලාගෙන සිපගෙන ළැමද අතගා ලිංගික අතවර කළ බවට එම විදේශීය සංචාරක තරුණියන් දුම්රියේ ආරක්ෂක නිලධාරීන්ට පවසා හපුතලේ දුම්රිය ස්ථානයට දැනුම් දී සැකකරු අල්ලාගෙන පොලිසියට බාර දුන් බව පැවැසේ.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.