gossip lanka

හඳපාන් විල්ලුව ඕඩේ ඇලේ ගිලී මිය ගිය වන අලි 07ක ගේ සිරුරු හමුවෙයි… ඉන් පස් දෙනෙක් අලි පැටවු…

පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක, මීට දින කිහිපයකට ඉහත දී මිය ගිය වන අලින්ගේ සිරුරු හතක් ඊයේ දින ( 26 ) සොයා ගත් බව වනජීවී නිලධාරින් සහ පරිසරවේදීහු සඳහන් කරති.
මියගිය මෙම වන අලින්ගෙන් අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30,35 පමණ වයසේ පසුවන වන දෙදෙනකුගේ සිරුරු වන බව පරීක්ෂණ සිදු කරන වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇල ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත්, එම ඕඩේ ඇලේ ස්ථාන කිහිපයකින්, එම අලින්ගේ සිරුරු හමු වි තිබෙන බවත්, අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බවත්, පරීක්ෂණ සිදු කරන වනජීවි නිලධාරීහු සඳහන් කලහ.

පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හඳපාන්විල විල්ලුව පිරී, ඕඩේ ඇළ හරහා මහවැලි ගඟට ජලය ගලා ගොස් ඇති අතර, ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ජපන් ජබර සහ පාසි තුළ එම අලි පැටවුන් සහ වන අලින් සිර වි මිය යන්නට ඇති බවට සැක කරන බව වනජීවී නිලධාරිහු පවසති,

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය සුරකීමේ සභාපති ටීී. තීපන් සඳහන් ඕඩේ ඇළට කුඹුක් ගස් කඩා වැටී, ජපන් ජ බර සහ විවිධ පාසී වර්ග සිරවී තිබෙන බවත් එහි ගැඹුර නොදැන වන අලි රංචුව ඕඩේ ඇළ හරහා ගමන් කිරීමට, යාමේදී ජලයේ ගිලීමෙන් අනතුරට මුහුණ පා මියයන්නට ඇති බවට සැක කරන බවත් කියයි.

අප මේ පිළිබඳව වන ජීවි දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එල්.පී. එදිරිසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි පැවසුවේ මියගිය වන අලින්ගේ සිරුරු හතක් හමුවී ඇති බවත්, ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට අදාළ පශුවෛද්‍යවරුන් දැනුවත් කර තිබෙන බවත්ය.

- මනම්පිටිය නිමල් ජයරත්න
gossip lanka