gossip lanka

සැමියා දවස් හතරකට කළින් මැරිලා-ගෙදර ලයිට් වතුර කපලා-කැබිතිගොල්ලෑවේ පවුලක් අසරණ වෙලා!

“මගේ නිවසේ මාස හතරකට කලින් විදුලිය කැපුවා. සති දෙකකට කලින් ජලයත් කැපුවා. කුලී වැඩ කර අපිව බලාගත්ත මහත්තයා දින හතරකට කළින් අනතුරකින් මියගියා. අපි දැන් අපා දුක් විඳිනවා” යැයි දරුවන් සිවුදෙනා සමග අසරණව සිටින කැබිතිගොල්ලෑව පදවිය පාරේ පී. අනුරාධා ස්වර්ණමාලී (33) තරුණ මව හැඬු කඳුළින් පැවසුවාය.

හයවැනි ශ්‍රේණියේ පුතකු සහ හතරවන ශ්‍රේණියේ දියණියක අධ්‍යාපනය ලබන අතර, අවුරුදු 2 ක පුතකු සහ දින 40 ක කිරිකැටි පුතකු ද හදාවඩා ගැනීමේ වගකීම මෙම මවට පැවරී තිබීමෙන් ඇයගේ හිසමත දැවැන්ත බරක් පැටවී තිබේ.

වෙනත් අයකුගෙන් ඉල්ලාගත් යතුරුපැදියක් පදවාගෙන යද්දී කැබිතිගොල්ලෑව නගරයේ දී පාර හරහා ගිය ගවයකුගේ හැපී බරපතළ තුවාල ලබා මියගිය පී. කේ. චතුරංග (34) වන සිය සැමියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඉකුත් 27 වැනිදා සිදුකළ බව ද ඇය පැවසුවාය.

සිය ස්වාමීපුරුෂයා කුලී වැඩ කර පවුල ජීවත් කළ අතර, වැඩ කළ ස්ථානයකින් මුදල් ඉල්ලා ගැනීමට මෙම මස 12 වැනිදා සවස කැබිතිගොල්ලෑව නගරයට ගිය අවස්ථාවේ දී අනතුරට පත්ව දින 13 ක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබාසිටිය දී මියගිය බවත්, ඔහුගේ දේහයේ අවසන් කටයුතු කැබිතිගොල්ලෑව ප්‍රදේශවාසීන් එකතුව සිදුකළ බවත් ඇය කියන්නීය.

සැමියාගේ දේහය නිවසට ගෙනඑන විටත් විදුලි සහ ජල සැපයුම් විසන්ධි කර තිබූ බව කී ඇය, අසල්වාසීන්ගේ උදවු උපකාර ඇතිව ඒවා විසඳාගත් බව ද සඳහන් කළාය.

විදුලි බිල හතළිස්හතර දහසක් පමණ, ජල බිල විසිතුන් දහසක් පමණ එකතු වී ඇති බවත් මහත්තයා කුලීවැඩ කිරීමෙන් ලැබුණු මුදලින් දරුවන් පාසල් යැවීම ඇතුළු සියලුම දේවල් කිරීම නිසා බිල් ගෙවීමට නොහැකි වූ බවත් ඇය කීවාය.

මහත්තයා කුලීවැඩ කිරීමෙන් ලැබුණු මුදලින් දරුවන් සමග ජීවත් වුණේ ගොඩක් අමාරුවෙන් බවත් ඒ හේතුවෙන් බඩගින්නේ හිටි අවස්ථා ද ඕනෑ තරම් තිබූ බවත් ඇය පැවසුවාය.

කුඩා කටුමැටි ගෙයක ජීවත්ව සිටිය දී පසුගිය කාලයේ රජයෙන් ලැබුණු ලක්ෂ හයක මුදලින් සැමියා මහන්සිවී බාගෙට නිමකර ඇති දැන් ජීවත්වන නිවස හදාගත් බව ද ඇය වැඩිදුරටත් කීවාය.

මෙම අසරණ පවුල පිළිබඳව කළ විමසුමක දී කැබිතිගොල්ලෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පණ්ඩිත ධම්මකිත්ති හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

“මෙම පවුල අන්ත අසරණ තත්වයට වැටී සිටින නිසා කාලයක සිට එම ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට උදවු කරනවා. මියගිය චතුරංග මහත්තයා දරුවන්ට බිරිඳට හොඳින් සැළකූවා. දින ගණනක දරුවකු සිටින නිසා මවට දරුවන් හතර දෙනා ජීවත් කිරීමට කන්න බොන්නවත් දෙන්න හැකියාවක් නෑ. ඒ නිසා මෙම පවුලට කවුරුන් හෝ උදවු උපකාර කිරීම මහා ආනිශංස ලැබෙන පිනක්” බවත් ධම්මකිත්ති හිමියෝ කීහ.

එම දරු පවුල සම්බන්ධව වැඩිදුර තොරතුරු 0718358999 යන දුරකථනයට ධම්මකිත්ති හිමියන් හෝ එම මවගේ සහෝදරිය වන පී. ඩී. සුභාෂිණි 0715455287 යන දුරකථනයට ඇමතීමෙන් හෝ 0112479212 යන ලංකාදීප පුවත්පතේ දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.(ලංකාදීප)
gossip lanka