gossip lanka

මැදවච්චිය පොලිසියේ හය දෙනෙක් වෘෂණකෝෂයක් අයින් කරන්නම තරුණයෙකුට පහර දීලා!

මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනකු තමාගේ දෑත පිටුුපසට කර බැඳ, අමානුෂික අයුරින් පහර දීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයක් කළ බව දිලීෂ සංගීත් නමැති අය පවසනවා. එම ශල්‍යකර්මයෙන් තමන්ගේ වෘෂණකෝෂයක් ඉවත් කිරීමට සිදු වූ බවයි ඔහු කියන්නේ.

මෙලෙස මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් පහර කෑමට ලක්ව තිබූ දිලීෂ සංගීත් මැදවච්චිය, තුලාවෙල්ලිය ප්‍රදේශයේ පදිංචි දිලීෂ සංගීත් 23 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ පියාද පොලිසියේ සැරයන්වරයෙක් වීම විශේෂයක්.

“පහුගිය හත්වෙනිද බට්ටා ලොරිය හදාගෙන, මමයි යාළුවායි එන කොට ට්‍රැපික් පොලිස් දෙන්නෙක් පාරේ හිටියා. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. අපි එතැන පසු කරලා කිලෝමීටරයක් විතර දුරක් ගියාම ට්‍රැෆික් බයිසිකලයක් ඇවිල්ලා අපේ ඉස්සරහින් හරස් කරලා නතර කළා. නවත්තපු ගමන් මමයි යාළුවයි එළියට ඇදලාගත්තා. මගේ අත් දෙක පිටිපස්සට කරලා ගැටගහලා වාහනයට දාලා ගැහුවා. අපේ ලොරියට පිටිපස්සෙන් ආපු පොලිසියේ ත්‍රීවීල් එකක හිටපු හතර දෙනෙක් පොලුවලින් මගේ යාළුවට ගැහුවා. අපි මැදවච්චියේ පොලිසියට අරන් ගිහිල්ලා අත්අඩංගුවට ගත්ත බව කිව්වා. ඒ වෙලාවේ මම ඒ මහත්තයලට කිවුවා මට ගොඩක් අමාරුයි, ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා. ඊට පස්සේ අරන් ගියාම, දොස්තර මහත්තයා බලලා කිවුවා ගොඩක් අමාරුයි අනුරාධපුරට ගෙනියන්න කියලා. පස්සෙ අනුරාධපුර ඉස්පිරිතාලෙන් ස්කෑන් එකක් කරලා කිව්වා මගේ වෘෂණකෝෂවලට ලේ බැහැලා කියලා ඔපරේෂන් එකක් කළා. අපිට ගහපු හේතුවක් අපි දන්නේ නෑ. ඒ ට්‍රැෆික්ලා අපිට නතර කරන්න කිව්වලු. අපි ඒක දැක්කෙ නෑ. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. දැන් මගේ බෙල්ල, කොන්ඳ, යටිබඩ තද වේදනාවක් දැනෙනවා” යි මැදවච්චිය පොලිස් පහර කෑමට ලක්ව ශල්‍යකර්මයකට බඳුන්ව සිටින දිලීෂ සංගීත් පවසනවා.

දිලීෂ සංගීත් මව වන කේ.පී. ප්‍රියදර්ශනී පවසන්නේ “පුතා තව යාළුවෙක් එක්ක වාහනය හදාගෙන එන්න මැදවච්චියට ගියා, එතකොට පොලිසිය අත දාලා තියෙනවා, පුතාලා දැක්කේ නැහැ කියනවා. ඊට පස්සේ පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා, වාහනෙන් එළියට ඇදලා අරන් පුතාගෙ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා, පයින් පාගලා පහර දීලා තියෙනවා. ඊට පස්සේ මැදවච්චියෙන් අනුරාධපුර රෝහලට අරන් ඇවිල්ලා දැන් ශෛල්‍ය කර්මයකට භාජනය කරලා මගේ පුතාගේ වෘෂණකෝෂයක් අයින් කරල. අනේ දෙයියනේ මගේ ළමයගේ අනාගතේ ඉවරයි. මේ දුක මම කාට කියන්නද?

පුතා රට යන්න පාස්පෝර්ට් හදලා කොරියන් කෝස් එක කරගෙන උන්නේ.

මේ සිද්ධිය ගැන අපි උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලි කළා. මම මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිගෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්, පොලිස්පතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි. මේ වගේ අපරාධයක් කරන්න තරම් මගේ පුතා වරදක් කරල නෑ” යනුවෙන්.

මේ සම්බන්ධයෙන් අප මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මෙලෙස පහර දීමක් සිදු නොකළ බවයි.

“මේ සිද්ධිය පසුගිය 7 වෙනිදා තමයි සිද්ධ වෙන්නේ. මැදවච්චිය, මන්නාරම මාර්ගයේ ප්‍රාථමික විද්‍යාලය අසල අපේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් රාජකාරි කරන කොට බට්ටා වර්ගයේ ලොරි රථයකට නතර කරන්න සංඥා කරලා. ඒත් ලොරිය අණ නොතකා ධාවනය කරනවා. ඒ අවස්ථාවෙ දී පොලිස් ත්‍රිරෝද රථයක සිටි නිලධාරීන් ඒ සිද්ධිය දැකලා ලොරිය පසුපස ලුහුබඳිනවා. කිලෝ මීටර් නවයක් විතර දුර යනවා. එක නිලධාරියෙක් ලොරියේ දොරේ එල්ලිලා තියෙනවා. ඒත් නතර කරලා නැහැ. අන්තිමට තුලාවේලි අතුරුපාරකදී ලොරිය නතර වෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ගිහින් අල්ලගන්නවා. පස්සේ රියැදුරා කලහකාරි ලෙස හැසිරිලා තිබෙනවා.

මේ රියැදුරා බීමත්ව රිය ධාවනය කර තිබෙනවා. රිය සහායක ලීටර් පහේ නීති විරෝධී මත්පැන් බූලියක් බිමට හලා තිබෙනවා ලොරියෙ යන කොට. රියැදුරු බලපත්‍රයක් නැතිව රිය ධාවනය, බීමත්ව රිය ධාවනය, අපරීක්ෂාකාරි අන්දමින් රිය ධාවනය, අණ නොතකා රිය ධාවනය සම්බන්ධයෙන් මේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබුණා. රය සහායකයා නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියැදුරා පොලිසියට ඇතුළත් කළාම වෘෂණකෝෂය ඉදිමිලා කියලා කියනවා. අපි ඊට පස්සේ රෝහල්ගත කරනවා. පොලිස් නිලධාරීන් කියන්නේ ඔවුන් ගැහුවෙ නෑ කියලා. මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතා යටතේ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධියට සම්බන්ධ රථ වාහන අංශ නිලධාරීන් දෙදෙනා දැනට වෙනත් පොලිසි දෙකකට මාරු කර යවා තිබෙනවා” යි ඔහු පවසනවා.
gossip lanka