gossip lanka

හරියටම අවුරුදු දහයකට කලින්, මඟීන් 239 ක් එක්ක අතුරුදන් වූ මැලේසියානු ගුවන්යානය ගැන හිතා ගන්න බැරි කතාවක් හෙළිවෙයි

මැලේසියානු ගුවන් සේවයේ MH 370 ගුවන් යානය අතුරුදන් වී වසර දහයක් සම්පූර්ණ වූයේ ඊයේ පෙරේදා ය.

එහෙත් ගුවන් යානයේ සිටි මඟීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 239 දෙනාට සිදු වූයේ කුමක්දැයි ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අදටත් පිළිතුරු ලැබී නැත. කෙසේ වුවත් අතුරුදන් වූ ගුවන් යානය යළි සෙවීමේ මෙහෙයුම් අරඹන බව පසුගියදා මැලේසියාවේ රජය ප්‍රකාශ කිරීමත් සමඟ ඔවුන්ගේ බලාපොරොත්තු අලුත් වී තිබේ.

මැලේසියාවේ බලධාරින් මේ ප්‍රකාශය සිදු කළේ අතුරුදන් වූ ජෙට් යානය සෙවීමට වසර 2018දී දැඩි උත්සාහයක නිරත වූ මැරීන් රොබොටික් නමැති අමෙරිකානු සමාගමක් එම සෙවීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට මැලේසියානු රජයට කළ යෝජනාව නිසා ය.

එදා මෙදා තුර ලෝක ගුවන්යානා අතුරුදන්වීමේ ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සෙවීමේ මෙහෙයුම් සිදු කළ මැලේසියානු ගුවන්යානය වැඩිම මුදලක් වැය කළ මෙහෙයුමකි. වසර 2017දී ඔස්ට්‍රේලියාව, චීනය සහ මැලේසියාව ඒකාබද්ධව ඉන්දීය සාගරයේ වර්ග කිලෝ මීටර් එක්ලක්ෂ විසිදහසක් ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමට අමෙරිකානු ඩොලර් මිලියන 130ක් වැය වී තිබිණි.

පසුව එය අතහැර දැමුවේ කිසිදු ප්‍රතිඵලයකින් තොරවය. 2018 දී එම රටවල් ත්‍රිත්වය යළි මෙහෙයුම් ආරම්භ කළ ද, දින 90කට පසු අවසන් වූයේ කිසිදු ප්‍රගතියක් නැතිවය. එතරම් මුදලක් යට කරමින් ජාත්‍යන්තර වශයෙන් මහ පරිමාණයෙන් සෙවීමේ මෙහෙයුම් සිදුකළත් අදටත් සොයා ගත නොහැකි වූ එකම ගුවන්යානය ද එය වේ. එපමණක් නොව අතුරුදන් වූ ගුවන්යානයක් පිළිබඳ අන්තර්ජාලයේ වැඩිම පුවත් පළවූයේ නම් එය පළවූයේ ද මැලේසියානු ගුවන්යානය සම්බන්ධයෙනි.

එසේ වුවත් අදටත් ප්‍රශ්නාර්ථයක් පමණක් ඉතිරි කළ MH 370 ගුවන් යානයේ අතුරුදන්වීම ගැන ලොව පුරා කතාබහට ලක් වී ඇති conspiracy theories නොඑසේ නම් කුමන්ත්‍රණ සිද්ධාන්තවලත් නිමාවක් නැත.

සැබැවින්ම MH 370 ගුවන්යානයට සිදු වූයේ කුමක්ද ? කිසිදු හෝඩුවාවක්වත් සොයාගත නොහැකි පරිදි මගීන් සහ කාර්ය මණ්ඩලය සමඟ එය ගැඹුරු මුහුදු පතුලේ සැඟවී ගියේද ? නොඑසේ නම් යම්කිසි ත්‍රස්ත සංවිධානයක ග්‍රහණයට හසුවූයේද? එසේත් නැතිනම් අබිරහස් පිටසක්වළ ජීවීන් පැහැරගෙන ගියේද ? වසර 10ක් තිස්සේ සොවින් තැවෙන අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවම මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් සිටී.

ආකාශ තරණයේ ඉතිහාසයේ විශාලතම අබිරහස ලෙස තවමත් නොවිසඳී පවතින MH 370 ගුවන් යානයේ අතුරුදන්වීම වැනි සිද්ධියක් නැවත සිදු විය හැකි ද? අතුරුදන් වූවන් ගැන සැබෑ තොරතුරක් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ජීවත්ව සිටින තාක්කල් නොලැබේවිද? පිළිතුරු සෙවීම වෙනුවට පර්යේෂකයෝ සහ ගුවන් තරණ ගවේෂකයෝ යළි යළිත් එම සිදු වීමේ මුලටම යමින් සිටිති.

එදා 2014 වසරේ මාර්තුවේ 8 වැනිදා, ලෝක කාන්තා දිනයේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේ සිට චීනයේ බීජිං ගුවන්තොටුපොළ දක්වා මගීන් 227ක් රැගෙන ගුවන්ගත කළ MH 370 ගුවන්යානය නොනැවතී අඩි තිස්පන්දහසක් ඉහළට නැඟීමෙන් පසු පාලන මැදිරියෙන් ලද උපදෙස් මත වියට්නාම ගුවන් යානා පාලන මැදිරිය සමඟ සම්බන්ධ වූ අතර, වියට්නාම ගුවන් සීමාව හරහා පියාසර කරමින් තිබූ ගුවන්යානයේ ප්‍රධාන නියමුවා වූ 53 හැවිරිදි සහාරී අහමඩ් මෙසේ කීවේය.

‘සුබ රාත්‍රියක්, මැලේසියානු 370‘ අතුරුදන්වූ ගුවන්යානයෙන් ලොවට ලැබුණු අවසන් පණිවිඩය එය විය.

පැය හයහමාරක ගමනාන්තයක් ආරම්භ කළ MH 370 ගුවන්ගත වී මිනිත්තු 38කට පසුව ගුවන්යානා පාලන කලාපයෙන් අතුරුදන් වී තිබිණි. ඒ වන විට එය පියාසර කරමින් තිබුණේ මැලේසියානු අර්ධද්වීපය සහ අන්දමාන් මුහුද හරහා ය. මැලේසියාවේ ගුවන් පාලන මැදිරියට MH 370 ගුවන් යානය එකවරම නොපෙනී ගියද, එරට හමුදා රේඩාර් පද්ධතියට තවත් පැයක් යනතුරු එය තවදුරටත් දැකගත හැකි විය.

එහෙත් හදිසියේම එම රේඩාර් පද්ධතියෙන් පෙනී ගොස් ඇත්තේ MH 370 ගුවන්යානය එක වරම තියුණු ආකාරයට වම් දිශාවට හරවා ඇති බවය. එය බීජිං නුවර ගමනාන්තයක කරගත් පියසර සැලසුමට නියමිත දිශානතිය වෙනස් කිරීමක් නොවූ අතර, මීටර් 11,000ක් ඉහළ අහසේ දී එවැනි සැලසුමෙන් පිට ක්‍රියාවක් සිදුවීම ගුවන් තරණ ඉතිහාසයේ විශාලතම අබිරහසේ ඇරඹුම සටහන් කළේය. එතැනින් එහාට කිසිදු රේඩාර් තීරයකින් MH 370 ගුවන්යානය කිසිවකුට දැකගත නොහැකි විය.

ගුවන්යානය අතුරුදන්ව හරියටම දශකයක් ගත වී තිබේ. ලොව අතුරුදහන් වූ ගුවන්යානයක් සෙවීමට වැඩිම මුදලක් යටකළ සිදු වීමට අමතරව ගුවන්යානා අතුරුදන්වීමේ ඉතිහාසයේ විශාලතම අබිරහස බවටත් එය පත්ව තිබේ. අදටත් එහි සුන්බුන් කිසිවක් සොයා ගැනීමට කිසිවකු සමත් වී නැත.

පසුකාලීනව එම මුහුදු තීරයෙන් සොයාගත් MH 370 ගුවන්යානයේ කැබැලි යැයි අනුමාන කළ කුඩා කොටස් පවා එම ගුවන්යානයට අයත් බවට කිසිදු තහවුරු කිරීමක් ද නැත. ඕනෑම ගුවන්යානා ව්‍යවසනයකදී ඊට සැබෑ හේතුව සොයාගත හැකි මෙවලම වන තැඹිලි පැහැති ‘කළු පෙට්ටිය‘ ගැන පවා අදටත් තොරතුරක් නැත. ඉතිරිව ඇත්තේ කුතුහලය අවුස්සන ඉතා බරපතළ කුමන්ත්‍රණ සිද්ධාන්ත කිහිපයක් පමණි.

ගුවන්යානයත් සමඟ අතුරුදන් වූ මගීන් 239 දෙනා අතර සිටි ඉන්දීය ජාතික නරේන්ගේ බිරිය චන්ද්‍රිකා කිසිදිනෙක ගමනාන්තයට ළඟා වූයේ නැත.

‘ගුවන්යානයට සිදුවුණු දේ අබිරහසක් වීම ගැන මම තවමත් කම්පාවෙන් ඉන්නේ. යම් අනතුරකට ලක්වුණාද කියලා අපි තවමත් තොරතුරු එකතු කරමිනුයි ඉන්නේ.‘ එය එතෙක් මෙතෙක් කිසිදාක ගුවන්යානයකින් ගමන් නොගිය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට ගුවන් යානයකට ගොඩ වීමට නොහැකි තරමේ බියක් ඇති කළ කාරණාවකි. ගෝලීය චන්ද්‍රිකා ජාලය දියුණු මෙවැනි යුගයක නවීන තාක්ෂණයෙන් යුතු බෝයිං 777 වර්ගයේ ගුවන්යානයක අතුරුදන්වීම අතිශයින්ම විමතිය දනවනසුලු ය.

‘හැම අවුරුද්දේම මාර්තු 8 වැනිදාට යෙදෙන සංවත්සරයේදි මේ ප්‍රශ්නය මගේ හිතට වධ දෙනවා. ගුවන්යානය අතුරුදන්වූ ස්ථානය දන්නවා නම්, යම් අනතුරකට ලක් වුණා නම් යානයේ සුන්බුන් ඒ මුහුදු සීමාවේ තිබිය යුතුයි. කොටස් කැබැලිවල ප්‍රමාණය කොයි හැටි වෙතත් සුන්බුන් තිබෙන්නම ඕනෑ. මම හිතන්නේ මගේ මුළු ජීවිත කාලයටම ඒක දැනගන්න ලැබෙන එකක් නෑ කියලයි.‘

මේ පිළිතුරු නැති ප්‍රශ්නයෙන් මුලා වී සිටින්නේ නරේන් පමණක් නොවේ. අතුරුදන් වූ MH 370 ගුවන්යානයේ සිටි සියලු මගීන්ගේ පමණක් නොව කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීහු පවා මේ සම්බන්ධව විමතිය පළ කරති.

ගුවන්යානයේ ප්‍රධාන නියමුවා වූ සහාරී අහමඩ්ගේ මිතුරකු වන ආචාර්ය ගවුස් මොහොමඩ් නූර් ද ඒ අතර සිටී.

‘කැප්ටන් සහාරිගේ පවුලේ අය තවමත් විශ්වාස කරන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබේවි කියලයි. ඒත් ඒ ගැන තවම හෝඩුවාවක්වත් නෑ. හැමෝටම ඕන මේ ප්‍රශ්නයෙන් ඉක්මනින් මිදෙන්නයි. එයාගේ බිරියට හා දරුවන්ටත් එහෙමයි. ‘

කැප්ටන් සහාරි ආධුනිකයකු නොවීය. 1981 වසරේදී මැලේසියානු ගුවන් සේවයට බැඳුණු ඔහුගේ රාජකාරි කාලසීමාව අතුරුදන් වන විට අවුරුදු 33කි. පැය 8,659 ක පියාසර කාලසීමාවක් සම්පුර්ණ කළ ඉතා පළපුරුදු ගුවන් නියමුවෙකි. ඔහු සියදිවි හානි කරගැනීමේ අරමුණින් සෙසු මගීන්ගේ ද ජීවිත බිල්ලට ගෙන ගුවන්යානය ගැඹුරු මුහුදු පතුලේ කිඳා බැස්වීමට කටයුතු කිරීමේ සිද්ධාන්තයක් ද මතු විය. ඊට හේතු වූයේ ගුවන් යානය අතුරුදන්වීමෙන් දින කිහිපයකට පසු මැලේසියානු පොලිස් නිලධාරින් ගුවන් නියමුවාගේ නිවෙස වටලා ඔහුගේ කාමරයෙන් සොයාගත් ගුවන්යානා පියාසර සැලසුමක ආකෘති සටහන් කිහිපයක් සොයා ගැනීම හේතුවෙනි.

ඒවා අතර ක්වාලාලම්පූර් නුවර සිට බීජිං නුවර දක්වා නව පියාසර මාර්ගයක් ද ඇතුළත් සටහනක් ද තිබී ඇත. එහෙත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කළ විමර්ශනයේදී පර්යේෂකයන් එම සිද්ධාන්තය බැහැර කර ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන් ද එම සිද්ධාන්තයෙන් අතිශය කම්පාවට පත්ව තිබිණි. සහාය නියමුවා ලෙස කටයුතු කළ 27 හැවිරිදි ෆාරික් අබ්දුල් හමීඩ්ගේ පවුලේ සාමාජිකයන් ද මේ අත්දැකීමට මුහුණ පා තිබිණි.

ගුවන්යානා ආරක්ෂාව පිළිබඳ කීර්තිය දිනූ විශේෂඥයකු වන පිලිප් බවුම් එම ගුවන්යානයට සිදු වූයේ කුමක්දැයි ඔහු විශ්වාස කරන සිදුවීම් පහක් පිළිබඳ එංගලන්තයේ ‘ඉන්ඩිපෙන්ඩන්ට්‘ පුවත් සේවයට ප්‍රකාශයක් ද සිදු කර තිබිණි. මේ කුමන්ත්‍රණ සිද්ධාන්ත අතර ඒවා ද වැඩි අවධානයට ලක් වී තිබිණි.

ගුවන්යානයේ ගමන් කළ මගීන්ගෙන් බහුතරය පිරිසක් චීන ජාතිකයෝ වූහ. එය ප්‍රමාණයෙන් 150කට වඩා වැඩිය. එබැවින් මැලේසියානු ජනතාව අතර පමණක් නොව චීන ජනතාව අතර ද MH 370 ගුවන්යානයේ අතුරුදන්වීම දැඩි කැලඹීමකට සහ කුතුහලයකට හේතු වී තිබිණි.

හෝඩුවාවක් දැන ගැනීමට ස්වේච්ඡාවෙන්ම උත්සාහයක නිරත වූ චීන ජාතිකයෝ ද වෙති. ජියැං හුයි සහ තවත් චීන ජාතිකයන් පිරිසක් අදටත් අතුරුදන්වූ ගුවන්යානයේ සුලමුල සොයා දේශ දේශාන්තරවල සංචාරය කරමින් සිටී. ඔහු ගේ මව ද අතුරුදන්වූවන් අතර සිටියාය.

ඔවුන් එක්ව ගොඩ නැඟු ‘වොයිස් 370‘ එකමුතුව අද වන විට අතුරුදන් වූ ගුවන්යානයේ සුලමුල සොයා නොගිය තැනක් නැත. වතාවක් ගුවන් ගමන් එකිනෙකට යා කරන ගුවන්යානා හතරකින් ද, හෙලිකොප්ටර් යානයකින් ද ඔහු ඇතුළු කණ්ඩායම ඉන්දීය සාගරයට මුහුණලා පිහිටි විවිධ රටවල වෙරළ තීර රැසක ගවේෂණ කටයුතු සිදු කළේය. එහිදී ඔවුන් සොයා ගත් ගුවන් යානයක යැයි අනුමාන කරන කොටස් කැබැල්ලක් වැඩිදුරට විමර්ශනයට චීනයේ සිවිල් ගුවන්සේවා අධිකාරියට බාර දුන්නේය. එහි ප්‍රතිඵල අදටත් නැත. එහෙත් ජියැං හුයි තවමත් සිය ගවේෂණ නතර කර නැත.

‘මැලේසියා රජය වගේම චීන රජයත් දන්නවා අපි මේ මෙහෙයුම අත්හැරලා නැති බව. අපේ ඥාතීන්ට මොකද වුණේ කියලා හරියටම දැනගන්නා තුරු අපි මේක අත්හරින්නේ නෑ.‘ ගුවන්යානය අතුරුදන් වූ 2014 වසරේ සිට අද දක්වාම මැලේසියාවේ මෙන්ම චීනයේ ද අතුරුදන්වූවන්ගේ සාමාජිකයෝ සැබෑ තොරතුරු ඉල්ලා ඔවුනොවුන්ගේ රටවල පරිපාලනයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටිති. එදා සිට අද දක්වා MH 370 ගුවන් යානයේ අතුරුදන්වීම ගැන සිදු කර ඇති විමර්ශන ද අතිවිශාලය.

වරක් ඔස්ට්‍රේලියානු ගවේෂකයන් පිරිසක් ගැඹුරු මුහුදේ දැවැන්ත මෙහෙයුමක නිරත විය. ඊට අමතරව මැලේසියානු පොලිසිය කළ විමර්ශනය ද ඉතා දීර්ඝ එකක් විය. මෑතකාලීනව මැලේසියානු බලධාරීන් සිදු කළ MH 370 ගුවන්යානයේ අතුරුදන්වීම ගැන වාර්තාව පිටු 500කට ආසන්න එකකි. එහෙත් මේ කිසිදු වාර්තාවකින් ගුවන්යානයේ අතුරුදන්වීම ගැන නිශ්චිත හෝඩුවාවක් සපයා නොතිබිණි.

සියලු පාර්ශ්ව තර්ක විතර්ක දහසක් මැද වසරක් වසරක් පාසා ඉස්මතු වන කුමන්ත්‍රණ සිද්ධාන්ත අතරේ පැටලී සිටින අතර, එම සිද්ධාන්ත වසරින් වසර අලුත් වෙමින් පවතී. වරක් අමෙරිකානු ගුවන් තරණ සම්බන්ධ මාධ්‍යවේදියකු වූ ජෙෆ් වයිස් සිද්ධාන්තයක් ගොඩනඟමින් කියා සිටියේ රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නියෝගයක් මත MH 370 ගුවන්යානය කසකස්තානයේ රහසිගත ස්ථානයක ගොඩ බස්වා ඇති බවකි. ඔහු ඊට නිදසුන් වශයෙන් ගෙන හැර පෑවේ මීටර් 11,000ක් ඉහළ අහසේදී එකවරම ගුවන්යානය නියමිත ගමන් දිශාවෙන් බැහැරව වම් දිශාවට හැරවීමය. ඒ අතර ප්‍රංශයේ හිටපු ගුවන් යානා අධ්‍යක්ෂවරයකු වූ මාර්ක් ඩුගේන් අපූරු සිද්ධාන්තයක් ඉදිරිපත් කර තිබිණි.

ඔහු කීවේ ඩියාගෝ ගාර්ෂියා දූපත ආසන්නයේදී පහළින් පියාසර කරවීම හේතුවෙන් එම දූපතේ ස්ථානගත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරෙන් ප්‍රහාරයක් එල්ල වන්නට ඇති බවය. ඊට වසර ගණනාවකට පෙර නිවයෝක් නුවරට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයේ මුහුණුවර යටතේ ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි උපකල්පනය කරමින් අමෙරිකානු හමුදාව එම ප්‍රහාරය එල්ල කර ගුවන්යානය විනාශ කරන්නට ඇති බවය. එම සිද්ධාන්තය ගොඩ නැඟීමේදී ඔහු කරුණු දෙකක් කෙරෙහි සැලකිලිමත් වී තිබිණි. පළමුවැන්න MH 370 ගුවන්යානයේ නියමුවාගේ නිවෙසින් ක්වාලාලම්පූර් සහ බීජිං නුවර අතර නව ගුවන් මාර්ග සටහනක් සොයා ගැනීමය. දෙවැන්න එම දින වකවානුව තුළ ඩියාගෝ ගාර්ෂියා දූපතට ඉහළ අහසේ ඉතා පහළින් ගුවන්යානයක් පියාසර කරනු දුටු බවට මාලදිවයිනේ වැසියන් ප්‍රකාශ කර තිබීමය.

ගුවන්යානයේ සුන්බුන් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බොහෝ සිද්ධාන්ත බැහැර කළද, පිටසක්වළ ජීවින්ගේ ග්‍රහණයට හසුවූයේදැයි මුල සිටම ගොඩනැඟුණු සිද්ධාන්තය පමණක් තවමත් ඉතිරිව තිබේ. පිටසක්වළ යානා සහ ජීවීන් ගැන තොරතුරු ඉතිහාසය වසර 1947 දක්වා ඈතට විහිදී ගියද මෙතෙක් එවැනි ජීවින් හෝ යානා ගැන නිශ්චිත වශයෙන්ම තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමෙන් මේ සිද්ධාන්තයට මුලදී වැඩි සැලකිල්ලක් යොමු නොවූවත් අද වන විට MH 370 ගුවන් යානයේ අතුරුදන්වීමට පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධතාවක් ඇති බවට පළවන තර්ක විතර්ක හුදු ප්‍රලාප බව කියමින් බැහැර කිරීමට නොහැකි තරම් ශක්තිමත් වී ඇත.

ඒ පිළිබඳ පළමු හෝඩුවාව හෙළි වූයේ 2018 දී එංගලන්තයේ එක්ස්ප්‍රස් පුවත්පත පළ කළ ලිපියකිනි. ඒ ලිපියට අනුව ටයි නමින් හඳුන්වනු ලැබූ එක්තරා පුද්ගලයකු එවකට ට්විටර් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද්භූත කටහඬකින් පටිගත වූ හඬපටයක් ඔහුට ලැබී ඇති බවය. එම පණිවිඩයේ වචන වෙනුවට ඉලක්කම් සහ අකුරුවලින් සමන්විත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි. මේ පිළිබඳ අවධානය යොමු කර ඇති අන්තර්ජාල පරිශීලකයන් ගූගල් ඔස්සේ විමර්ශනයක නිරත වී ඇති අතර, එය සංකේත පරිවර්තනය කිරීමේදි එය ‘ප්‍රකාශය ඉවත් කිරීම භයානකයි.

ඔවුන් මිනිසුන් නොවන බවට පරිස්සම් වන්න‘ යනුවෙන් අරුත් ගැන්වෙන අනතුරු ඇඟවීමක් බවට අනාවරණය වී ඇතැයි ද කියැවේ. එමෙන්ම එම හඬපටය ගුවන්යානය අතුරුදන්වූ දිනයේදී මැලේසියාව සහ ඉන්දුනීසියාව ආසන්නයේ දී පටිගත වූවක් බවට ද තොරතුරු වාර්තා විය. සැබැවින්ම MH 370 ගුවන් යානය අතුරුදන්වූයේ මැලේසියානු අර්ධද්විපය සහ ඉන්දුනීසියාවේ අන්දමන් දූපත් සමූහය අතරේදීය. එහෙත් පසුව ඇතැම් වෙබ් අඩවිවල සඳහන් වූයේ එය එම පුද්ගලයා ට්විටර් සමාජ මාධ්‍යජාලයේ ග්‍රාහකයන් පිරිස වැඩි කරගැනීම සඳහා භාවිත කළ උප්පරවැට්ටියක් හැටියටය.

එය එසේ වුවද MH 370 ගුවන්යානයේ අතුරුදන්වීම සහ පිටසක්වළ ජීවීන් අතර සම්බන්ධතාව බැහැර කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

මේ සියල්ල අතුරින් දැනටමත් පැහැදිලි වී ඇති එකම කරුණ වන්නේ ගුවන් නියමුවා නියමිත ගුවන් ගමන් මාර්ගයෙන් ඔබ්බට MH 370 ගුවන්යානය පියාසර කරවා ඇති බවය. එය මැලේසියානු හමුදා රේඩාර් පද්ධතියේ පටිගත වූ සිදුවීමකි. ගැටලුව ඇත්තේ එවැනි පියවරක් ගැනීමට ගුවන් නියමුවා කටයුතු කිරීමට හේතුව කවරේදැයි යන්නය.

මැලේසියාවේ ප්‍රධාන විමර්ශන නිලධාරියකු වූ කොක් සූ චොං ප්‍රකාශ කර ඇත්තේ ගුවන්යානය සැලසුම් කළ මාර්ගයෙන් ඉවතට හැරවීමට හේතුව නිශ්චිතව තීරණය කළ නොහැකි බව ය. මැලේසියාවේ සිවිල් ගුවන් සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ කොක් සූ චොං එරට රජය කුලියට ගෙන තිබුණේ අතුරුදන් වූ ගුවන්යානය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීමට ය.

අතුරුදන් වූ ගුවන්යානය පිටසක්වළ ජීවීන්ගේ ග්‍රහණයට හසුවූයේ දැයි කිසිවකුට නිශ්චිත වශයෙන්ම තහවුරු කිරීමට නොහැකිය. එමෙන්ම එසේ නොවූයේ යැයි තහවුරු කිරීමට ද කිසිවකු මෙතෙක් සමත් වී නැත. සැබෑව නම් පිටසක්වල ජීවීන් ගැන කතා පැල් බැඳගෙන කියවන්නට හැකි බවය. චිත්‍රපට හා පුවත්පත්වලින් පමණක් අසා ඇති කිසිදාක නොදුටු මේ අරුම පුදුම ජීවීන් ගැන පෘථිවිවාසීන් අතර ඇත්තේ කවදාවත් එපා නොවන උනන්දුවකි. කුතුහලයකි. එවැනි ජීවීන් සිටින් බවටත්, උන් පෘථිවියේ කරක් ගසන බවටත් පමණක් නොව පියාඹන පීරිසිවලින් පෘථිවියට පැමිණ උන්ගේ පරීක්ෂණවලට පෘථිවිවාසීන් පැහැරගෙන යන බවටත් ලොව බොහෝ රටවල අතීතයේ සිට තර්ක විතර්ක ගොඩ නැඟී තිබේ.

MH 370 ගුවන්යානය සහ එහි සිටි මගීන් 239 දෙනා දැන් පසුවන්නේ පිටසක්වල ජීවීන්ගේ ග්‍රහණයේ බවට තවදුරටත් සිද්ධාන්ත පිට සිද්ධාන්ත ගොඩනැඟෙනු ඇත. එහෙත් තවත් වසර ගණණාවක් යනතුරු හෝ මුළු ජීවිත කාලය පුරාවටම MH 370 ගුවන්යානයේ අතුරුදන්වීම සම්බන්ධව ඉතිරිවනු ඇත්තේ එම සිද්ධාන්තය පමණක් බවට ඉඳුරාම පැවසිය හැකිය.

(උපුටා ගැනීමකි)
gossip lanka