පුෂ්පා රම්‍යානි ද සොයිසා හෙද නිළධාරිනිය ලංකාවේ ඕනෑම ව්‍යසනයකදී ඉදිරියට එන කවුරුත් දැන අඳුනන චරිතයක්.
ඇය ඇගේ මුහුණූ පොතේ ස්ව අත්දැකීම් ලියන කෙනෙකු නිසාම ඇය කා අතරත් ජනප්‍රියයි.
මේ තියෙන්නෙත් ඇය ලියපු ඒ විදිහේ මතක සටහනක්...
"ස්වයං ජීවිත විවරණයේ තවත් දිනයක්......
අදවන් දවසක පිපිරුන ඒ බෝම්බයෙන් තුවාල වූ පිරිස 1500 ක්......
1996 වසරේ ජනවාරි මස 31 වනදා අප රට රෝහල් ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආපදාව ලෙස අපට හට මුහුණ දීමට සිදුවිය. එනම් LTTE ත්රස්ථ ප්හාරයක් හේතුවෙන් කොළඹ මහ බැංකුවට එල්ල වූ බෝම්බ ප්රහාරයයි.
එදින පෙරවරුව වෙනදා මෙන් නොව, මුලු අහසම මළානිකය. මා ඒ බව මිතුරියකට පැවසීය. “ අද හරි අමුතුයි නේද? අදත් මොකක් හරි කරදරයක් වෙයිද දන්නෑ? “ ඇය මුනිවත රැකීය.
ඉන්පසු ඉකුත් වූයේ විනාඩි 14 කි. අධික වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයෙන් පැමිණි රෝගියා ආවේ හිස බදාගෙනයි “අපිට බෝම්භ ගැහුවා අපිව බේරාගන්න “ ඔහු විලාප දෙමින් කෑගැසුවා. ඒ විලාප හඩ මුලු හදිසි අනතුරු අංශයම දෝංකාර විය. අපි නැවතත් කඩි ගුලක් සේ ඇවිස්සිනී. මම මගේ කංඩායමට අණ දුනිමි. ඉක්මනට දැනුවත් කරන්න අධ්‍යක්ෂ, මේට්රේන්, දුරකථන හුවමාරුවට. හදිසි අනතුරු අංශයේ අනෙකුත් ස්ථාන දැණුවත් කරන්නට මා තවත් හෙද නිළධාරිනියකට වහාම පැවසීය
ඉන්පසු ආරක්ෂක අංශයට කියා සිටියා ඉදිරි ගේට්ටුව හැර හදිසි අනතුරු අංශයට විවෘත අන් දොරටු වසා දැමීමට. ඉන්පසු සියලු ට්රොලි සහ පුටු රැගෙන ඒමට සෞඛ්ය කාර්ය මංඩළ වලට පැවසූ මා රෝගීන් වර්ගීකරණය ආරම්භ කිරීමට සූදානම් වුයෙමිි. එක පෙළට රෝගීන්. කොටින්ම රෝගීන් ගංගාවක් .......... මෙය වචනයෙන් ලීවාට ඔබට එම අවස්ථාව තේරුම් ගැනීමට නොහැකි වනු ඇත.
සියලුම අය අපෙන් ඉල්ලා සිටියේ එකම එක දෙයකි... "මිස් අපේ ජීවිත බේරා දෙන්න".
ජීවිතයක වටිනාකම ඔවුනට වඩා අප දන්නේය. ඔවුන් කව්රුන් වුව කම් නැත අපට ඔවුනගේ දිවි වටින්නේමය. රෝහල් අධ්ක්ෂයවරයාගේ සිට සෞඛ්ය සහායකයා දක්වාම කාර්ය මංඩළය සිටියේ සීරුවෙනි.
අපි රෝගීන් වර්ගීකරණය කළෙමු ඔවුනගේ බරපතල කම අනුව බෙදීම කළෙමු. ජීවිතයයි මරණයයි අතර සිටි සිටි සියලු රෝගීන් ප්රතිජීවණය සදහා යොමු කළෙමු. අවධානම් අනෙකුත් රෝගීන් බාහිර රෝගී අංශයට යොමු කළෙමු. කිසිදු අවධානමක් නොමැති රෝගීන් සාමාන්ය වාට්ටු වලට පිටත් කර හදිසි අනතුරු අංශයේ පරිශ්රය උපරිම රෝගීන්ගේ ජීව්ත බේරා ගැනීම සදහා පමණක් කටයුතු කරවීමට සැලැස්වූයෙමු.
අපි යන්ත්ර මෙනි. සියලු කාර්ය මංඩළ වතුර උගුරක්වත් නොබී සවස් වන තෙක්ම එක සීරුවට වැඩය.
දුරකථනයට කිසිම නිනව්වක් නැත... සෑම දෙසින්, සෑම රටකින්ම විමසීම්ය
හදිසි අනතුරු අංශයේ දුරකථනයට පිළිතුරු සැපයූයේ අප රටට පමණක් නොව ලොව පුරාම තානාපති කාර්යාල වලට උත්තර සැපයීම අඛන්ඩව සිදු කෙරිණි.
බෝම්බ පිපිරීම් වලට ලක්වූ සමහරුන් අනතුරට ලක්ව සිටියේ කනගාටුදායක ලෙසය . බෝම්බ පිරුණු ලොරිය මගින් මෙම පිපිරීම සිදු කරන විට ඇතිවූ ශබ්ද හේතුවෙන් එය බැලීමට ජනේල වලින් හිස එළියට දැමූ අවස්ථාවේ සිදුවූ පිපිරීමෙන් බොහෝ දෙනෙකුගේ ඇස් අනතුරු වලට ලක්වී තිබුණු අතර සදහටම පෙනීම අහිමි වූ අයද සිටියහ.
මතකයේ හැටියට ඇස් අනතුරු පමණක් 40 කට වැඩිය. ඔවුන් සදහා ඇස් රෝහලේ සහය අපට ලැබිණි.
මා සිටියේ රෝගීන් වර්ගීකරණය කරමින් සහ නිවැරදි තොරතුරු ගවේශණය කරමිනි. එම තොරතුරු සෑම විටම පරිපාලනයට සපයමිනි.
දැන් ලෙඩ්ඩු කීයද ? මාධයයට පැවසීමට පරිපාලනය නිතර අසයි... 1000 පැනලා සර්.
දැන් 1200 ... දැන් 1400 දැන් කීයද 1500 පැනලා
මරණ කියද ? දැනට 118 යි
තව බොහෝ මරණ තිබුණද ඒ සියලු සිරුරු කැබලි බවට පත්වී ලොරි දෙකක ගොඩ ගැසී තිබිණ.
එදින අපද හුස්ම ගත්තේදැයි මතකයක් නොමැත.
නමුත් අනතුරට පත්වූ ඔහු මට අදද අමතක වී නොමැත.
1500 කට වඩා පැමිණි එම අවස්ථාව වන විට මාගේ නිළ ඇදුම රුධිරයෙන් පෙගී තිබිණ. අත් වැසුම් කීප වතාවක් මාරු කලද ඒ සෑම විටම රුධිරය පෙරෙමින් තිබිණ. සෑම රෝගියෙක්ම ඇස් දෙකින්ම බලා තීන්දු ගැනීම ඉතා අත්යාවශ්යමය. නැතිනම් අසාධ්ය රෝගියෙකු වෙනත් ස්ථානයකට යොමු වුවහොත් ඔවුනගේ තත්ත්වය මග හැරෙනු ඇත. එබැවින් සෑම තත්පරයකදීම නිවැරදි තීන්දුව ගැනීම අත්යාවශ්‍යය.
තවත් වාහනයක් ඉගිලී ආවේය. එහි තවත් රෝගීන් තිදෙනෙකි. ඔවුන් සියල්ල බරපතලය. ඒ වන විට හදිසි අනතුරු අංශය රෝගීන්ගෙන් පිරී ඉතිරී තිබිණ.
මා වෙනත් රෝගියෙකු අධීක්ෂණය කරන අතර තුරු වාහනයෙන් ට්‍රොලියට ගත් රෝගියෙකු මාගේ නිළ ඇදුමින් ඇද මා ඔහු වෙතට හැරවීය. “මිස් මට ව..තුර ටිකක් “ නතර වු මාගේ හදවත දැඩි ලෙස ගැහෙන්නට විය. ඒ ඔහු දැකුමින්ය. මෙම බරපතල බෝම්බ පිපිරීමෙන් ඔහුගේ එක් අතක් සහ පාදයක් ගැලවී ඇත. උදරය පැලී අභ්යන්තර ඉන්රිියයන් එලියට ඇවිත්ය. නමුදු ඔහු ජීවතුන් අතරය. ඒත් සමගම සිටි අයට ඔහුව ප්රතිජීවණය කාමරයට යොමු කරමින් උපදෙස් දුන් මා ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට වෙහෙසුනෙමි
එතරම් බරපතල ලෙස අනතුරු වූ ඔහුට එවන් අවස්ථාවකදී වතුර දීමට නොසුදුසු වුවද ඒ ඉල්ලීම ඉටු කිරීමට අත් වැසුම් උනා දමා මා වතුර ගෙන ඒමට දිව ගියෙමි. එසැනින් වතුර ස්වල්පයක් පමණක් ගෙන ආ මා ඔහු වෙතට නැඹුරුව “ආ වතුර” කීවා පමණි
දිය බිදක් ඉල්ලා සිටි ඒ ආයාචනාත්මක මුහුනේ විවර වූ දෙනෙතින්ම ඔහු තම ජීවිත ගමන නිමා කර තිබිණි. එහි සටහන්ව පැවතියේ කුරිරැ ත්‍රස්ථවාදය නිසා තම අහිංසක ජීවිතය බිල්ලක් වූ බව පමණි. එය මා මියෙනතෙක් රැදුන තවත් එක් ශෝක සිදුවීමකි.
නිමා විය දිවි ගමණ කුරිරු මිනිසුන් අතර...
දිය බිදක් මුව ලන්න නොහැකි විට මිනිස් කමට....
දිවි ගමනේ තවත් කොටසක් ඉදිරියට සටහන් තබමි.
පුෂ්පා රම්යානි සොයිසා