gossip lanka

මේ පෙබරවාරිය ඇතුළත භූ කම්පන සිදුවීමේ අවධානම වැඩි වේවිද ?

මෙම සතිය තුළ සිදුවන ප්‍රථම ග්‍රහ මාරුව වන්නේ මෙම 2024 වසරෙහි පෙබරවාරි 12 වැනිදා පෙ.ව. 4.53ට සිකුරු ග්‍රහයා මකර රාශියට පිවිසීමය.

මෙම ග්‍රහ මාරුවට අනුව පෙබරවාරි 12 වැනිදාට පෙර සහ පසු දින කිහිපය තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව සහ දේපළ පිළිබඳව අසාමාන්‍ය ආරංචිවලට ඉඩකඩ ඇත.

මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම පෙබරවාරි 12 වැනිදා ආශ්‍රිතව ආගමික ක්ෂේත්‍රය පිළිබඳව අවිනිශ්චිත අසුබ සහ පැහැදිලි කළ නොහැකි ආරංචිවලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස එකී කාලවකවානුව තුළ වර්ෂාව සම්බන්ධව සුළු වශයෙන් හෝ සුබදායක ආරංචිවලට ඉඩකඩ ඇත. එසේම කලාකරුවන් සම්බන්ධව තීරණාත්මක ආරංචිවලටද ඉඩකඩ ඇත.

මෙම සතිය තුළ සිදුවන අනෙක් සුවිශේෂී ග්‍රහ මාරුව වන්නේ 2024 වසරෙහි පෙබරවාරි 13 වැනිදා ප.ව. 3.44ට රවි ග්‍රහයා කුම්භ රාශිය කරා ප්‍රවේශ වීමය. මෙසේ කුම්භ රාශියට පිවිසෙන රවි ග්‍රහයා 2024 වසරෙහි මාර්තු 14 වැනිදා ප.ව. 12.36 වන තෙක්ම තම කුම්භ රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2024 වසරෙහි පෙබරවාරි 13 වැනිදාත් මාර්තු 14 වැනිදාත් අතර කාලසීමාව තුළ රවි සහ ශනි සංයෝග වන බව පෙනේ. මෙම ග්‍රහ පිහිටීම අපගේ අත්දැකීම්වලට අනුව දේශපාලන ක්ෂේත්‍රය බෙහෙවින් උණුසුම් කරන ග්‍රහ පිහිටීමකි.

ඒ අනුව මෙම පෙබරවාරි 13 වැනිදාත් මාර්තු 14 වැනිදාත් අතර කාලසීමාව තුළ මැතිවරණ උණුසුමක් පිළිබඳව කතිකාවතක් නැවත වතාවක් ඇතිවිය හැකි බව පෙනේ. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම පෙබරවාරි 13 වැනිදාත් මාර්තු 14 වැනිදාත් අතර කාලසීමාව තුළ පාර්ලිමේන්තුව තුළ නව අණපනත් සම්මත වීමටද නව ගිවිසුම් ආදිය අස්සන් කිරීමටද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වීමටද ඉඩකඩ පවතින බව

පෙනේ. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව වසරෙහි පෙබරවාරි 13 වැනිදාත් මාර්තු 14 වැනිදාත් අතර කාලසීමාව තුළ බලාපොරොත්තු රහිත කැබිනට් මණ්ඩල සංශෝධනවලට හෝ වෙනත් අමාත්‍ය මණ්ඩල සංශෝධනවලටද ඉඩකඩ පවතින බව පෙනේ. එමෙන්ම එම කාලය තුළ මැතිවරණ සම්බන්ධව හෝ දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධව ජනතාවගේ අවධානය යොමුවන ආකාරයේ අධිකරණ තීන්දුවලටද ඉඩකඩ පවතින බව පෙනේ.

මීට අමතර ලෙස රවි සහ ශනි යන ග්‍රහයන් එක්වීමට අනුව පෙබරවාරි 13 වැනිදාත් මාර්තු 14 වැනිදාත් අතර කාලසීමාව තුළ හෘද රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කෙරේ. ඒ අනුව දැනටමත් හෘද රෝගවලින් පෙළෙන අයද හෘද රෝගවලින් සුවය ලබා ඇති අයද හෘද රෝග අවදානමක් පිළිබඳ ඉඟි ලැබී ඇති අයද මෙම පෙබරවාරි 13 වැනිදාත් මාර්තු 14 වැනිදාත් අතර කාලසීමාව තුළ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෙනදාට වඩා අවධානයෙන් සිටිය යුතුය.

මීට අමතර ලෙස මෙසේ රවි සහ ශනි යන ග්‍රහයන් සංයෝග වීමට අනුව වසරෙහි පෙබරවාරි 13 වැනිදා ආශ්‍රිතව සහ පෙබරවාරි 13 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රිය අනතුරුවල සහ වෙනත් හදිසි අනතුරුවල වැඩිවීමක් පැහැදිලිවම පෙන්නුම් කෙරේ. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව පෙබරවාරි 13 වැනිදාට පෙර සහ පසු දින කිහිපය තුළ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය අංශවලට, ආරක්ෂක අංශවලට, ප්‍රසිද්ධ කලාකරුවන්ට, ප්‍රසිද්ධ ගායකයන්ට, මූල්‍ය ආයතන, කෘෂිකාර්මික අංශයට, දේපළවලට ඇති වන අසුබ තත්ත්ව පෙන්නුම් කරන අතර ප්‍රබල භූ කම්පන වර්ධනය වීමටද ජාතික මට්ටමේ ජනතා නියෝජිතයන් පිළිබඳව සහ ආගමික අංශ පිළිබඳව අසුබ ආරංචි ලැබීමට ඉඩකඩ ඇත.

පාරින්ද්‍ර සුගතදාස
gossip lanka