gossip lanka

ගාසා තීරයට යළිත් මරණය… සටන් විරාම නැවතුන පසු 193ක් මැරිලා… 650ක් තුවාලයි!

ගාසා තීරයේ ජීවිතය සහතික කර කාලය පැය ගණනින්  ගණන් කර නිමා කර තිබේ. යළිත් බිහිසුණු සංහාරය ආරම්භ වී  ඇත. පෙරේදා (01) උදේ  සිට ආරම්භ වූ ප්‍රහාර බිහිසුණු ලෙස වර්ධනය වී ඇති ආකාරය  අන්තර්ජාතික රතුකුරුස  සංවිධානයේ ප්‍රධානියා  රොයිටර් පුවත් සේවය වෙත අවධාරණය කර සිටියේය.

සටන් විරාම දින කීපය තුළ ජීවිතය ගැන බලාපෙ‍රොත්තු උපදවාගෙන සිටි අසරණ සිවිල් වැසියන්  193කට වැඩි පිරිසක් ඊයේ සහ පෙරේදා දෙදින තුළ  ඝාතනය වි ඇති බව  ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  650 දෙනෙකුට වඩා තුවාල ලබා ඇත.  මියගිය අය අතර ප්‍රදේශයේ ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ සභාපතිවරයා සහ  ඔහුගේ පවුලේ අය ද වෙති. නිවසේ සිටි සභාපතිවරයා සහ පවුලේ අය ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරයකින්  ඝාතනය වි තිබේ.


ඊයේ    උදෑසන පුරාම, ඛාන් යුනිස් හි නසාර් රෝහලට තුවාල වූ පුද්ගලයින්ගේ අඛණ්ඩ ප්‍රවාහයක් ඇදී ආවේය. රෝහල් ධාරිතාව ඉක්මවා ගොස්ය. තුවාල ලැබූ අසරණ සිවිල් වැසියන් සිය ගණනක් වැතිර ප්‍රතිකාර ලබමින් ඇත.

ඊශ්‍රායල යුද ගුවන් යානා සහ කාලතුවක්කු ඊයේ ( 02) දිනය පුරාමත්  ගාසා තීරයේ දකුණට බෝම්බ හෙලුවේය. තාවකාලික සටන් විරාමයෙන් අනතුරුව එල්ල කළ ප්‍රහාරයෙන්   ඛාන් යූනිස්හි, මුස්ලිම් පල්ලි තුනක්,  නිවාස බුන්බත් වී තිබේ. වෛද්‍යවරුන් සහ සාක්ෂිකරුවන්ට අනුව ඊයේ  උදෑසන   නසාර් රෝහලට ආසන්න ප්‍රදේශවලට හය වතාවක් ඊශ්‍රයාල ප්‍රහාර එල්ල වී ඇත. මේ වනවිටත් දුම්රොටු අහසට යොමු වී ඇති අකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔක්තොම්බර් 07 දා  යුද්ධය ආරම්භයේ සිට මියගිය සිවිල් පලස්තීන වැසියන්ගේ ප්‍රමාණය  15,000 කට වැඩිය. ඛේදවාචකය වන්නේ ඉන් හතරෙන් තුනක් නොදරුවන් සහ කාන්තාවන් විමය.

පලස්තීන සිවිල් වැසියන්  මේ වනවිට වඩාත්ම බිය වී සිටින්නේ    දකුණේ ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුමකින් පලස්තීන භූමිය ආක්‍රමණය කිරිමේ   පෙර නිමිති පහළ වි ඇති බැවිනි.    එමඟින් හැකිළෙන ප්‍රදේශයකට සිවිල් වැසියන් එක් කර අසල්වැසි ඊජිප්තුවට තල්ලු කිරීමට උත්සාහ කළ හැකි බවට ගාසා වැසියෝ විශ්වාස කරති.


ඉස්ලාමීය කණ්ඩායම සිය පැවැත්මට තර්ජනයක් වන බවත්  මේ විනාශකාරී සතුරාවන හමාස් සංවිධානය සදහටම අතුගා දමන බවත් ඊශ්‍රයාලය මේ වනවිට ප්‍රතිඥා දී ඇත.

මානුෂික ආධාර
සටන් විරාමය අවසන් වීමෙන් පසු ප්‍රථමාධාර ට්‍රක් සෙනසුරාදා රෆා හරස් මාර්ගයෙන් ඊජිප්තුව   ප්‍රදේශයෙන් ගාසාවට ඇතුළු වූ බව ඊජිප්තු ආරක්ෂක සහ රෙඩ් ක්‍රෙසන්ට් ආරංචි මාර්ග පැවසීය.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු පැවසුවේ සටන් නැවත ආරම්භ වන විට ගාසා තීරයේ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර සැපයීමට ඊශ්‍රායලය පහසුකම් සපයනු ඇති බවය.


දින හතක සටන් විරාමය බිඳ වැටීම සම්බන්ධයෙන් සටන් කරන පාර්ශ්ව එකිනෙකාට දොස් පවරා ගනිති. එහි අවසාන වන්දිය ගෙවන්නේ අසරණ මිනිසුන් ඔවුන්ගේ ජීවිතවලිනි.

ඔබ  මෙය කියවන මොහොතේත්  ගාසාහි කිරි සප්පයෝ ඊශ්‍රයාල ප්‍රහාරවලින් මිය යති. තමන්ට අවාරණය කරගත නොහැකි, තමන්ගෙන් පාලිත සිවිල් වැසියන්ගේ ජීවිතවලට රැකවරණයක් සපයා දිය නොහැකි  යුද්ධයක් අලුත් වටයකින් ආරම්භ කළ හමාස් ද ඊශ්‍රයාලය තරම්ම ම්ලේච්ය. මේල්ච්ඡයන්ගේ යුද්ධයේ දී   කුඩුවි යන අසරණ සිවිල් වැසියන්ගේ ජීවිත සම්බන්ධව අප බලා සිටින්නේ මහත් වූ කම්පනයෙනි. එහෙත් අපට මානව හිමිකම් ගැන උග්නවන බටහිර කාලකණ්ණින්ගේ මුණිවත ලෝකයේ පවතින ම්ලේච්ඡත්වයේ සමස්ථය ගැන කදිම පාඩමක් කියා දෙමින් ඇති බව යළිත් අවධාරණය කළ යුතුව ඇත.
gossip lanka