gossip lanka

දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගය ඉහළට!

දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පෙරේදා (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර සිටියේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇති බවයි.

මේ දිස්ත්‍රික්ක නවයේ සිටින මාස 06 – 09ත් අතර වයසේ පසුවන ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීම ජනවාරි 06දා සිදුකිරීමට නියමිත අතර, එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලයේදී ළඟම පිහිටි රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සායනයෙන් මෙම එන්නත ලබාගත හැකි වේ.

වයස මාස 09ත් 15ත් අතර කුමන හෝ පුද්ගලයෙකුට සරම්ප මාත්‍රාව ලැබී නොමැති නම් ඒ අයටo සරම්ප එන්නත් ලබාදීම ක්‍රියාත්මක කරන බවද මහීපාල මහතා පැවසුවේය.

මීට අමතරව ජනවාරි මාසයේ තෙවැනි සතියේදී නැවතත් මෙවන් වැඩසටහනක් දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන බවද පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා මෙහි අරමුණ සරම්ප රෝගීන් වාර්තා වීම අවම කර ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන උපදෙස් අනූව කටයුතු කරමින් අප රටේ සරම්ප රෝගීන් අවම තත්ත්වයකට ගෙනඒම බවද අවධාරණය කළේය.

මාස 02ක් පමණ කාලයක් තුළ සරම්ප රෝගීන් වාර්තා වීම මේ නිසා සම්පූර්ණයෙන් නවත්වා ගැනීමට හැකිවනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019දී ලෝක සෞඛ්‍ය සංවිධානය අප රටට සහතිකයක් ලබාදුන් බවද, එම සහතිකය කලාපයේ රටවල් 03කට පමණක් ලබාදුන් අතර එම රටවල් ත්‍රිත්වයෙන් එකක් ලෙස අප රටටද එම සහතිකය හිමිවූ බවද සිහිපත් කළේය.

ලෝකය පුරාම ප්‍රතිශක්තීකරණ වැඩසටහන ශක්තිමත්ම රට ශ්‍රී ලංකාව බවද එය 100%ක් බවද ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
gossip lanka