gossip lanka

අහු නොවී රට පනින්න අලුත් උපක්‍රමයක් පාතාලය සොයා ගනියි

පාතල මිනිස් ඝාතන සිදුකරන පාතාල මිනීමරුවන් පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර හොර රහසේම රටින් පලායෑම මොවුන්ගේ අලුත්ම ක්‍රමවේදය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිය ඉලක්කගත ඝාතනය ක්‍රියාත්මක කිරීමට පෙර වෙනත් රටකට පලා යෑම සඳහා අවශ්‍ය කරන වීසා බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍රය මෙන්ම ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය ද මොවුන් කල්තියාම සූදානම් කර අදාළ ඝාතනය කිරීමෙන් පසු රටින් පලායෑමට කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියි.

පසුගිය කාල සීමාවේ බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුවූ බොහෝ පාතාල මිනිස් ඝාතනවලට සම්බන්ධ මිනීමරුවන් කීපදෙනෙකුම එම ඝාතන සිදුකර පැය 48 ක් ගත වන්නට පෙර රටින් බලා ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මේ අතර ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තම ඉලක්කගත මිනිස් ඝාතනය සිදුකර දින කීපයක් ඇතුළත ආපසු රටින් පැන යෑමේ ක්‍රමවේදය ද ඇතැම් පාතාල මිනීමරුවන් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වෙයි.

මීට දින කීපයකට උඩදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් චතුර්ක නමැති පාතාල මිනීමරුවා මෙරටට පැමිණ තිබුණේ අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කර රටින් පලා යෑමට සැලසුම් කරගෙන බව ද මේ වනවිට හෙළි වී ඇත.

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය ඝාතනය කළ කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනා ද එම ඝාතනය සිදුවී දින කීපයක් ඇතුළත රටින් පැන ගිය බවට තොරතුරු පොලිසිය වෙත මේ වනවිට ලැබී තිබේ.
gossip lanka