gossip lanka

"ඒ මිනිහා තමයි මගේ ජීවිතයම විනාශ කළේ...දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවත් වෙනවා.” - ස්පාවල වැඩ කරන තරුණියකගේ අදෝනාව

ස්පාවල වැඩ කරන තරුනියන්ගේ ජීවිතවල කතා හරි සංවේදීයි.

හිතුවක්කාරකමට ගන්න තීරන,හැඟීම්වලට වහල් වෙලා ගන්න තීරණ එහෙමත් නැත්නම්,ආර්ථික තත්වයෙන් ගොඩ එන්න ඕනි නිසා ගන්න තීරන නිසාත් සමහර තරුණියන් ස්පාවල වැඩ කරන්න යනවා.මේ ඒ වගේ තරුණියකගේ කතාවක්.

”මගේ ගම මාතර. මාතර කිව්වට නගරයේ නොවෙයි. ටිකක් ඈතට යන්න ඕනා. මගේ අම්මයි තාත්තයි ව්‍යාපාරයක් කළේ. ගමේ තිබුණු ලොකුම සිල්ලර බඩු කඩය තිබුණේ අපිට. ඒක නිසා අපිට හොඳට සල්ලි තිබුණා. පවුලේ බාලයා මමයි. එක් සහෝදරයෙක් සහ සහෝදරියක් මට ඉන්නවා. නගරයේ තිබුණු කාන්තා විදුහලක තමයි මම ඉගෙන ගත්තෙ. ඕ ලෙවල් පාස් වුණා. ඒ ලෙවල් වාණිජ අංශයෙන් කරගෙන හිටියේ. ඒ කාලේ මම තරුණයෙක් එක්ක යාළු වුණා. ඒ අපේ කඬේට බඩු දාන්න එන අයියා කෙනෙක්. එයා පෞද්ගලික කොම්පැනියක රෙප් කෙනෙක්. මට වඩා අවුරුදු නමයක් වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි.ඒ කාලේ මට එයාගෙන් තොර ලෝකයක් තිබුණෙ නැහැ. අපේ තාත්තා නීතිකාරයා. මං ගැන හොඳට හොයලා බැලූවා. ඒක නිසා අපිට නිතරම හම්බ වෙන්න බැරි වුණා. වැඩිපුරම ආදරේ කළේ ෆෝන් එකෙන්.මාස කීපයක් ගතවෙද්දී මට එයා නැතුව බැරි වුණා. දෙමව්පියන්ට වඩා ආදරයක් එයා ළඟ තියෙනවා කියලා හිතුනා. ඒක නිසා එයා ළඟටම යන්නම තමයි හිත. අන්තිමේදි අපි දෙන්නා තීරණයක් ගත්තා. ඒ හොර රහසේ පැනලා යන්න.

එතකොට මගේ වයස අවුරුදු දාහතයි. ඒ ලෙවල් කරන්න ගත්තා විතරයි. අපි පැනලා යන්න මාසයක් විතර ප්ලෑන් කළා. සැරින් සැරේ මගේ ඇඳුම් ටිකක් ඒ අයියට දීලා තිබුණා. කිහිපවිටක්ම තාත්තට හොරෙන් කඩෙන් සල්ලිත් ගත්තා. දවසක් පෞද්ගලික පන්තියකට යන විදියට ගෙදරින් පැනලා ඒ අයියත් එක්ක කොළඔ ආවා.එතකොට මම පොඩි කෙල්ලෙක්. ගොඩක් ලස්සනයි. හැමෝම කිව්වේ මම අම්මගේ කපාපු පළුව කියලා. පැනලා ඇවිත් දවස් තුනක් අපි කොළඹ පැත්තෙ හෝටලයක හිටියා.

ඒ දවස් ටිකේ මට වෙන්න ඕන සේරම දේ වුණා. ගෙදරට ගින්දර දීලා ආවත් මට ඒ ගැන එච්චර ලොකු කැක්කුමක් තිබුණෙ නෑහැ. මොකද මගේ ලෝකය වුණේ මේ මනුස්සයා. පැනලා ආපු දවසෙම මම ගෙදර අයට කිව්වා. ඒගොල්ලො කලබල වෙලා මාව හැම තැනම හෙව්වා. පොලිසියටත් ගිහින් කියලා. තාත්තා පුදුම කේන්තියකින් ඉඳල තියෙන්නෙ. දවස් 3ක හනිමුන් එක ඉවර වෙලා රාජගිරිය පැත්තේ පොඩි ඇනෙක්ස් එකක් ගත්තා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකකුත් ගත්තා. මම හිතුවේ එතැන් සිට ජීවිතය සුන්දරයි කියලා. සේරම අමතක කරලා ඔහු සමග සතුටින් ඉන්න තමයි ප්ලෑන් කළේ.

මාස තුනක් අපි සතුටින් හිටියා. එයා රස්සාවට ගියේ නෑ මම බැන්දට පස්සේ. මගේ අතේ හා එයාගෙ අතේ තිබුණු සල්ලි ටික ඉවර වුණා. ඊට පස්සෙ තමයි ජීවිතයේ වෙනස් වෙන්න පටන් ගත්තේ. මම දැනගත්තේ පස්සේ. මිනිහා කුඩු කාරයෙක්. ඒ වගේම කසාද බැඳපු කෙනෙක්. ඒක දැනගත්ත දවසේ ජීවිතය පවා එපා වුණා. මට මැරෙන්න තරම් හිතුණා. ඉවසුවා. කොහොම හරි මේ මනුස්සයව හදා ගන්නවා කියලා හිතුවා. ඒක නිසා තව තවත් ඒ මිනිහට ආදරය කළා. හොඳින් කිව්වා කුඩු ගහන එක නවත්තන්න කියලා. ඒත් ඇහුවේ නෑහැ. තවත් මාස කීපයක් එහෙම යද්දි අපිට ජීවත් වෙන්න විදියක් තිබුණෙම නැහැ. ඒක නිසා මම තීරණය කළා රස්සාවකට යන්න. අපේ ඇනේක්ස් එක ළඟ අක්කා කෙනෙක් හිටියා. එයා රාජගිරිය පැත්තේ සපත්තු බෑග් හදන පොඩි ෆැක්ටරි එකක වැඩ කළේ. මාවත් එතැනට ගත්තා.

මාස කීපයක් එතන වැඩ කළා. ගෙදර ආවාම අමුම අපායක්. අර මිනිහත් එක්ක ජීවත්වෙන්න බැහැ. හැමදාම රණ්ඩු. අතින් පයින් හොඳටම මට ගහනවා. එක එක මිනිස්සු ජෝඩු කරනවා. ඒ මදිවට කුඩු ගහන්න සල්ලිත් ඉල්ලනවා. පුළුවන් තරම් ඉවසුවා. කරන්න දෙයක් නැති නිසා. එහෙත් කවදාවත් ඒ මිනිහගෙන් සැනසීමක් හම්බෙන්නෙ නැහැ කියලා මම තේරුම් ගත්තා. මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ. හම්බවෙන්නෙත් සොච්චම් පඩියක්. වැඩ කරන තැන අක්කා කෙනෙක් හිටියා. එයා මට ගොඩක් හිතවත්. මගේ ප්‍රශ්න සේරම එයා දන්නවා. එයා හරි හොඳ කෙනෙක් ඒත් සල්ලි ප්‍රශ්න තිබුණා. දවසක් එයා මට කිව්වා අපි ටික කාලයක් ස්පා එකක වැඩ කරමු කියලා. එයා දන්න කෙනෙක් වැඩ කරනවලූ. දවසට හොඳ ගාණක් හොයනවලූ.

දවස් ගාණක් මම ඒ ගැන කල්පනා කළා. මට යන්න හිත දුන්නෙම නෑහැ. අන්තිමේදී හිත හදාගෙන මම ඒකට කැමැති වුණා. ඒ අක්කා එක්ක නාවල තියෙන ස්පා එකකට අපි ගියා. එදා ඉඳන් තමයි මගේ ජීවිතයේ ආයෙ වෙනස් වෙන්න පටන් ගත්තේ. බොරු කියන්න ඕනෙ නෑනේ. මගේ ලස්සනට ගොඩක් අය කැමති වුණා. එතන ස්පා කියලා තිබුණේ නමට විතරයි. ඇතුලෙ හැම දෙයක්ම වෙනවා. මාස කීපයක් යද්දි ක්‍රම ක්‍රමයෙන් මම ඒවට කැමති වුණා. ඒ එක්කම මිනිහා කුඩුත් එක්ක පොලීසියට අහුවෙලා තිබුණා. ඊට පස්සේ එයාට මොනව උනාද කියල අද වෙනතුරු මම දන්නේ නැහැ. හෙව්වෙත් නැහැ. පදිංචියත් මම වෙනස් කළා.

මම වෙනස් වෙන්න පටන් ගත්තා. අඳින පළඳින එක පවා වෙනස් කළා. ටික කොණ්ඩෙ කොටට කපලා පාට කළා. මගේ අතේ හොඳට සල්ලි තිබුණා. සමහර දවස්වලට තිස් දහ, හතළිස් දහ හොයනවා.මුලින්ම මම බියර් බොන්න පටන් ගත්තා. ඊට පස්සේ අරක්කු. අන්තිමට නැවතුනේ අයිසුත් ගහලා. අයිස් ගැහුවම නිදිමත එන්නේ නැහැ. ඇඟට අමාරුවක් නැහැ. කරන්නේ මොනවාද කියලවත් දන්නෙ නැහැ. සමහර දිනවලට මිනිස්සු දහ පහළොස් දෙනා එක්ක නිදා ගන්නවා.ඒ අතර මම කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ලව් කළා. ජීවිතය විඳින්නත් ඕනානේ. ඒ කොල්ලො අතින් දෙපාරක් මම ප්‍රෙග්නට් වුණා. දෙපාරක් මම ඇබෝෂන් කළා.කරන්න දෙයක් නැහැ. මම මේ ජීවිතයට ඇබ්බැහි වුණා. නොතේරෙනකමට එකෙකුට ආදරේ කළා. ඒ මිනිහා තමයි මගේ ජීවිතයම විනාශ කළේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවත් වෙනවා.”

”එතකොට ගෙදර අය” මම අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි.

”පැනලා ගියාට පස්සේ අම්ම මාත් එක්ක කතා කළා. ගෙදර එන්නත් කිව්වා. ඒත් මම ගියේ නැහැ. පස්සේ කොහොමහරි ඒගොල්ලන්ට ආරංචි වෙලා තිබුණා මම කියන කරන දේවල්. ඒක නිසා මට ඒගොල්ලන්ගෙ මුහුණ බලන්න බෑහැ. සහෝදර සහෝදරියන් මාව පවුලෙන් අයින් කරලම දැම්මා. ඉඳලා හිටලා අම්මට කතා කරනවා එච්චරයි.”

වයස තවම විසි තුනයි. දැන්වත් මේ ජීවිතයෙන් අයින් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද? කිහිපවිටක්ම හිතුණා. එහෙත් බැහැ. පිරිමි කියන අය ආයෙමත් ජීවිතයටවත් මම විශ්වාස කරන්නේ නැහැ. මේ ජීවිතයට පුරුදුවෙලා ඉවරයි. මේක තමයි මගේ ජීවිතය දැන්. හොඳට සල්ලි හම්බ කරනවා කනවා බොනවා සතුටින් ඉන්නවා.”

”ඒ වුණාට ඔයා කරන්නේ නීති විරෝධී වැඩක් නේ.” අවසන් වශයෙන් මම ඇයගෙන් එලෙස විමසුවෙමි.

”යන්න. මෙරටේ මීට වඩා නීති විරෝධී වැඩ කොච්චර වෙනවද?. ඒවා ගැන කවුද කතා කරන්නේ. අපි ගැන තමයි හැමෝම කතා කරන්නේ. අපි බලෙන් මිනිස්සු ළඟට යන්නේ නැහැ මිනිස්සු තමයි අපි ළඟට එන්නේ.”

(උපුටා ගැනීමකි)
gossip lanka