gossip lanka

හොර වැඩ ටික ටික එලියට... ගයාත‍්‍රිගේ රහස් වීඩියෝවක් ජනකගෙන් පනී

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් තමන්ට තර්ජන එල්ල වන බවට කාන්තාවක් සිදුකර ඇති පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (30) පොරොන්දුවක් ලබා දුන්නේය.

ජනක රත්නායක මහතා සමඟ සමීප සම්බන්ධයක් පැවැත්වූ බව කියන මේ වනවිට විදේශගතව සිටින ගයාත්‍රි බිම්බා නමැති කාන්තාවක් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්න මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේය.

එසේම ඇයට එරෙහිව ජනක රත්නායක මහතා විසින් සිදුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාන්තාව අත්අඩංගුවට නොගන්නා බවටද ප්‍රතිඥාවක් ලබා දෙන ලදි.

එම පැමිණිල්ලට අදාළව ජනක රත්නායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ ද යන්න පිළිබඳව මීළඟ දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. සී.බී. එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දෙන ලදි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

පෙත්සම්කාර කාන්තාව ජනක රත්නායක මහතා සමඟ වසර 17ක් පමණ සමීප පෞද්ගලික සම්බන්ධතාවක් පැවැත්වා ඇති බවත් ඒ මහතා කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස ජනක රත්නායක මහතා කටයුතු කරද්දී මාසයකට රුපියල් 375000/- ගාස්තුවකට නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැණිව ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා මර්සිඩිස් බෙන්ස් වාහනයක් ලබාගෙන තිබූ බව නීතිඥවරයා සඳහන් කළේය.

එය පෙත්සම්කාරියට අයත් සමාගමක නමින් ලියාපදිංචි කර ඇති බවත් මේ පිළිබඳව තොරතුරු කෝප් කමිටුවේ දී අනාවරණය වූ බවත් නීතිඥවරයා කීය.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසුව පෙත්සම්කාරියට ජනක රත්නායක මහතාගෙන් විවිධ තර්ජන එල්ල වීමට පටන් ගත් බවත් පෙත්සම්කාරියගේ දර්ශන ඇතුළත් පෞද්ගලික වීඩියෝ පටයක් මුදාහරින බවට ඔහු විසින් ඇයට තර්ජනය කළ බවත් නීතිඥවරයා කීය.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත එම කාන්තාව පැමිණිල්ලක් ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවූ බව ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ඇයට විදේශගත වීමට සිදු වූ බව ද ඔහු කීය.

අනතුරුව ජනක රත්නායක මහතා විසින් පෙත්සම්කාරියට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව නීතිඥවරයා කීය.

එම පැමිණිල්ල මත සිය සේවාදායිකාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බව ද ඒ මහතා කීය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්න මහතා සඳහන් කළේ මෙම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බවය.

කෙසේ වුවද පෙත්සම්කාරිය අත්අඩංගුවට නොගන්නා බවට සහ ඇයගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවට තමාට සහතික විය හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

කරුණු සලකා බැලූ අධිකරණය මෙම විමර්ශනවල ප්‍රගතිය සලකා බැලීම සඳහා පෙත්සම නොවැම්බර් මස 15 වැනිදා කැඳවීමට තීරණය කළේය.

නෙල්කා මැදගෙදර
Dinamina
gossip lanka