gossip lanka

ගණේමුල්ලේ සංජීව රදවා සිටින ස්ථානය වීඩියෝ කළ කැමරාකරු අත්අඩංගුවට!

මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කරුවකු මෙන්ම, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන වන‘ගණේමුල්ලේ සංජීව' නමැත්තා රැදවුම් නියෝග මත රඳවා සිටින වීරඟුල පොලිස් ස්ථාන ගොඩනැගිලි, එහි ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධාන, නිට්ටඹුව පොලීසිය, තිහාරිය නගරයේ පිහිටීම ආදිය වීඩියෝගත කළ තරුණයෙක් එම ජංගම දුරකතනය ද සමග නිට්ටඹුව මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී මෙම දර්ශන එහි තිබී හමු වූ බව පොලීසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,
 
නාවලපිටිය කහටෝවිට පදිංචි, විසිහත් හැවිරිදි තරුණයකු බවත්, ඔහු ත්‍රිරෝද රථ රියැදුරකු වශයෙන් කටයුතු කරන බවත් පොලීසිය කියයි.මෙම තරුණයා ත්‍රිරෝද රථ රක්ෂණාවරණයක් ලබාගැනීමට පැමිණිලි පිටපතක් ළබා ගැනීම සඳහා ඉකුත් දා (27 වැනිදා) නිට්ටඹුව මූලස්ථාන පොලීසියට ගොස්, එහි රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක මංජුල මහතා හමු වී, ත්‍රිරෝද රථයේ අනතුරක් සම්බන්ධයෙන් ඔහුගේ දුරකතනයේ ඇති ඡායාරූප එම නිලධාරියාට පෙන්වමින් සිටියදී එහි තිබී මෙම වීඩියෝ දැක ඇති බව පොලීසිය පවසයි.

එම ජංගම දුරකතනය තවදුරටත් පරීක්ෂා කිරීමේදී, වීරඟුල පොලිස් ස්ථානය හා එහි ගොඩනැගිලි, එහි ආරක්ෂක තත්ත්වය, වීරඟුල වසමේ දමා ඇති මාර්ග බාධක,
 
නිට්ටඹුව පොලිස්  ස්ථානය, තිහාරිය නගරයේ වැදගත් ස්ථාන වීඩියෝ කළ දර්ශන ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ බව ද පොලීසිය කියයි. මෙම ස්ථාන වීඩියෝගත කිරීමට සාධාරණ හේතුවක් පැවැසීමට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු අපොහොසත් වී ඇති බව පොලීසිය පවසයි. කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ගණේමුල්ලේ සංජීව හෝ ඔහුගේ ගෝලයන්ගේ සැලසුමකට අනුව, ඔහු මෙම ස්ථාන වීඩියෝගත කළේ ද යන්න ගැන සැක කරන බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව, පැය 72ක රැඳවුම් නියෝග මත පොලීසිය රඳවාගෙන, ප්‍රශ්න කරමින් පසු වේ.

  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
gossip lanka