gossip lanka

බෙදුණු තීන්දුවකින් දසුන් ශානකට නායකත්වය හිමි වුණ හැටි එළියට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානකව ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඊයේ (20වැනිදා) යළි ආපසු හැරවෙමින් තවදුරටත් නායකත්වයේ රැඳීම සඳහා ඔහුට අවස්ථාව ලබාදීමට තීරණය වී තිබේ.

ඒ අනුව එළැඹෙන එක්දින ලෝක කුසලාන සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔහුට පැවරෙනු ඇත.

තරග කිහිපයකදීම පිතිකරුවෙකු ලෙසින් අසාර්ථක වූයෙන්, කණ්ඩායමට ක්‍රීඩකයෙකු ලෙසින් ලැබෙන දායකත්වයේ මද බව හේතු කරගනිමින් දසුන්ව නායකත්වයෙන් ඉවත් කර ලෝක කුසලාන තරගාවලියේදී නව නායකයා ලෙසින් කුසල් මෙන්ඩිස්ව නම් කිරීමට පෙරේදා වන විට සියල්ල තීරණය වී තිබූ අතර එම තීරණය ඊයේ දිනයේදී දසුන්ට දැනුම් දීමට ද යෙදී තිබුණි. පෙරේදා ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් ඊයේ ‘අරුණ’ වාර්තා කිරීමට යෙදුණු අතර එම වාර්තාව පළවීමත් සමගින්, නායකයකු ලෙස අසාර්ථක නොවුණු දසුන් ශානක තවදුරටත් නායකත්වයේ රැඳිය යුතු බවට ප්‍රබල ජනතා මතයක් ප්‍රකාශ වන්නට විය. ඒ සමග ඊයේ තේරීම් කමිටුව රැස්වීමේදී මෙම තීරණය පිළිබඳව නැවතත් සලකා බැලීමට සිදුවන තත්ත්වයක් උද්ගතවී ඇති අතර එහිදී දසුන් තවදුරටත් නායකත්වයේ තබාගන්නේද යන කරුණ සම්බන්ධයෙන් බෙදුනු තීරණයක් ලැබී ඇතැයි සැලවේ. අවසානයේ වැඩි මතයට එකඟ වෙමින් දසුන් තවදුරටත් නායකත්වයේ තැබිය යුතු බවට තීන්දු වී ඇති අතර ඒ අනුව ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් යවන ලද ලෝක කුසලාන සංචිතයේ කණ්ඩායම් නායකයා ලෙසින් දසුන්ව නම් කර තිබුණි.

මූලාශ්‍රය – අරුණ
gossip lanka