gossip lanka

ඒ වෙද්දී මට වයස අවුරුදු 16ක්…. ඒ මතකය අදටත් මගේ ඇසට කඳුළක් ගෙන දෙනවා…. ගෙදරින් ආපු පීඩනයත් එක්ක එයා වෙනස් වුණා - නිහාරි පෙරේරා

නිහාරි පෙරේරා කියන්නේ ක්‍රීඩාවෙන් සේම නිරූපණ කලාවෙන් සිය දක්ෂතා පෙන්නුම් කරන යුවතියක්. ඇය තමයි මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන සිරි දළදාගමනය ටෙලි වෘතාන්තයේ හේමමාලා කුමරිය වන්නේත්. මෙවර රසඳුන මේ සොඳුරු කතාබහ නිහාරි පෙරේරා සමඟ….

නිහාරි කොහොමද රංගනයට එන්නේ?

මම මුලින්ම එන්නේ නිරූපණ ක්ෂේත්‍රයට. මගේ අම්මා ඇඳුම් මෝස්තර නිර්මාණ කරන්නියක්. මම අඳින්නේ මගේ අම්මා නිර්මාණය කළ ඇඳුමක්. මෙතැනදී මතක් කරන්නම ඕනෙ ජානකී ඇන්ටිව සහ අමන්දා අක්කිව. ඒ දෙන්නා තමයි මුලින්ම කිව්වේ මගේ ෆොටෝ ෂූට් එකක් කරමු කියලා. ඒ වෙද්දී මට වයස අවුරුදු 16ක් වගේ. ඒ ෂූට් එක තමයි මගේ පළවෙනි ෂූට් එක. ඊට පස්සේ නාදගමේ ඉන්න මෙතුන් Sk අයියාගේ “කලාතුරකින්“ කියන සින්දුවේ වීඩියෝ එක කළා. ඊට පස්සේ ලැබුණු අවස්ථාවන් අනුව වෙ‍ෙළඳ දැන්වීම් කළා. නාට්‍යයක රංගනයට මම මුලින්ම එන්නේ හිරු නාලිකාවේ විකාශය වන සනත් අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ සිරි දළදාගමනය ටෙලි නාට්‍යය හරහා.

මේ වෙද්දී තව ආරාධනා ලැබිලා තියෙනවද?

ඇත්තටම ගොඩාක් ආරාධනා එනවා. නමුත් මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඒ නිසා ලැබෙන ආරාධනා අනුව මට ගැළපෙන චරිත තෝරලා තමයි මම රඟපාන්නේ මොනවද නැත්තේ මොනවද කියලා තීරණය කරන්නේ. ඒ වගේම නිර්මාණයක් භාර ගන්න කලින් මම අම්මාගෙන් සහ තාත්තාගෙන් අහනවා. ඒ දෙන්නා මට ලොකු සහයෝගයක් දෙනවා කලාව පැත්තෙන් ඉස්සරහට යන්න. ඒ වගේම මම මෙතැනදී විශේෂයෙන් මගේ ගුරුවරයා වන රුක්මාල් සේනානායකව මතක් කරන්න ඕනේ. ඔහුගෙන් තමයි මම වොර්ක් එක ඉගෙන ගත්තේ. මම මේ වෙද්දී පැජන්ට් දෙකක් නියෝජනය කළා. එකක් මිස් ටීන් ශ්‍රී ලංකා. අනික මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා. මම ඒ ටයිටල් දෙකම ජයග්‍රහණය කළා. මිස් ග්‍රෑන්ඩ් පැජන්ට් එක කරේ බ්‍රයන් කොකොවන් සහ කාමිල්. ඒ අය මාව නොමිනේට් කළා ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ තිබ්බ මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් තරගයට යන්න.

වැඩි ඉඩක් දෙන්න කැමති සිනමාවටද?

ඔව්. ඩ්‍රාමාවලට වඩා මම සිනමාවට ගොඩක් කැමතියි. මේ ඉස්සරහට වැඩ ටිකක් එන්න තියෙනවා.

අමතක කරන්නම බැහැ නිහාරි කියන්නේ බාස්කට් බෝල් ක්‍රීඩාවේ අපට ඉන්න ජාතික ක්‍රීඩිකාවක් බව. අපි ඒ ගැනත් කිව්වොත්?

මම අවුරුදු 17 ඉඳන් යූත් බාස්කට් බෝල් ටීම් එකට ක්‍රීඩා කළා. මම මතක් කරන්න ඕනේ මගේ බාස්කට් බෝල් ක්‍රීඩාවේ ගුරුවරු දෙදෙනා අජිත් කුරුප්පු සහ ශිව ශක්ති සෙල්වරාජ්. මගේ පළමු ටුවර් එක තායිලන්තයේ තිබ්බේ. ඊට පස්සේ ලංකාවෙන් මම යූත් ඔලිම්පික්, කොමන්වෙල්ත් ගේම්, ඒෂියා කප් වගේ රැසක් නියෝජනය කළා. එකම ටුනර්මන්ට් එකට දෙතුන් සැරේ ගිය අවස්ථාත් තියෙනවා.

වැඩියෙන් කැමති කලාවට ද ක්‍රීඩාවට ද?

අද වෙද්දී බාස්කට් බෝල් සහ මොඩ්ලින් කියන දෙඅංශයම සමබරව කරගෙන යනවා. ක්‍රීඩාව කරන්නේ මම ලංකාව වෙනුවෙන්. හැබැයි ක්‍රිකට් වගේ නෙවෙයි අපි නැෂනල් ටීම් එකේ හිටියා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. අපිට වෙනම ගෙවීමක් කරන්නේ නැහැ. නමුත් මම ආසාවනේ කරන්නේ බාස්කට් බෝල්. කලාවටත් ආසයි.

දෙකෙන් එකක් තෝරා ගන්න කිව්වොත්

මම තෝරා ගන්නේ බාස්කට් බෝල්. මොකද ක්‍රීඩාව නිසා මට මගේ ජීවිතේට ගොඩක් හොඳ වටිනාකමක් ලැබුණා. ඒ නිසා තමයි අය මට ඒ ගෞරවය දෙන්නෙත්.

පවුලේ විස්තර ටිකත් අපි කියමු

අම්මා ගයානි නානායක්කාර. තාත්තා දිනේෂ් ඉන්දික පෙරේරා. මල්ලි රෙහාන්. නංගි පසිඳි. අම්මා තාත්තා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. අම්මා ඩිසයිනින් කරන නිසා මට කොහේ හරි යද්දී ඒ තැනට ගැළපෙන ලස්සන ඇඳුමක් හදලා දෙන්නේ. මම හැම ඉවෙන්ට් එකකටම අඳින්නේ අම්මා මහලා දෙන ඇඳුමක්.

පාසල් ගියේ
ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය – නුගේගොඩ

මේ වෙද්දී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මම හීනෙකින්වත් නොහිතපු දෙයක් මේ වෙන්නේ. මම කවදාවත් හිතුවේ නැහැ නිළියක් වෙන්න. හරිම සතුටුයි ඉතින් ඒ ලැබෙන ආදරේ ගැන. පළමු ආදරේ ලැබෙන්නේ අම්මගෙන් තාත්තාගෙන්. ඒ එක්කම මල්ලි සහ නංගිගෙන්. ඒ හැමෝම මං ගැන ආඩම්බරයි. ඒ වගේම මගේ පුංචිව ත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මගේ මේ ගමනට ශක්තියක් වෙලා තියෙනවා. ඒ වගේම නම් කියු නොකියූ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ.

නිහාරි දැන් ආදරවන්තියක් ද?
ඒ ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. හැබැයි මතක් කරද්දීත් සංවේදී වෙන තැනක් මගේ ජිවිතේ. මට ආදරයක් තිබ්බා. ඒක දැන් නැහැ. ඒක නැතිවෙන්න හේතුව එයාගේ දෙමාපියන්ගේ අකමැත්ත. මම මොඩ්ලින් කරන නිසා ඔහුගේ වැඩිහිටියෝ අපේ ආදරේට තදින්ම විරුද්ධ වුණා. හැමෝම එක වගේ නෙවෙයි. ඕනෙම ක්ෂේත්‍රයක හොඳ අය නරක අය ඉන්න පුළුවන්. මම මේ කතාව දැන් වුණත් කියන්නේ තව කෙනෙක්ට මේ වගේ දේවල් විය යුතු නැති නිසා. ඒ ආදරේ තියෙන කාලේ මට ආව නිර්මාණ ඇරයුම් බොහොමයක් භාරගත්තෙත් නැහැ. මොකද මම ඒ ආදරේට ඇත්තටම ආදරේ කළ නිසා. ඔහු මුලදී මගෙත් එක්ක හිටියත් ගෙදරින් එයාට ලැබෙන පීඩනයත් එක්ක ඔහුත් වෙනස් වුණා. හැබැයි මම විශ්වාස කරන්නේ එහෙම විය යුතු නැහැ කියලා. අපි ආදරෙ කරපු කාලේ මට අදටත් මතක් වෙනවා. මොකද මොන තරම් බාධක ප්‍රශ්න ආවත්, අපිට අපි දෙන්න හිටිය සුන්දර කාලයක් තිබ්බා. ඒ මතකය අදටත් මගේ ඇසට කඳුළක් ගෙන දෙනවා.

2023ට තියෙන බලාපොරොත්තු මොනවද?
මගේ ජිවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මට එන ආරාධනා අනුව වැඩ ටික කරගෙන යනවා. ඒ එක්කම මමයි අම්මයි එකතු වෙලා අලුතින් ලිනන් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න ඉන්නවා. ඒකත් එක්ක දිගටම බාස්කට් බෝල් ක්‍රීඩාවත් කරගෙන ඉස්සරහට යනවා. ඒ වගේම ටුවර්ස් ටිකක් තියෙනවා. සමහර විට ලංකාවේ ඉන්නත් පුළුවන් සමහරවිට ලංකාවේ නැති වෙන්නත් පුළුවන්. හොඳ ඔපචුනටි එකක් ලැබුණොත් නම් ලංකාවෙන් යයි.

අනුෂා රණසිංහ
රසඳුන
gossip lanka