gossip lanka

හේනට ආපු තනි අලියා මෙල්ල කරන්න ගිය දෙදරු පියෙකුට අත්වූ ඉරණම - Photos

හේනේ වගාවන් කා දමන අයුරු දැක අලියා  පළවා හැරීමට පැලෙන් බිමට බැහැලා...

"අයියා අලියා එළවන්න එද්දී අලියා පන්නාගෙන එනවා අපි දැක්කා"

වන අලියකු  සිදු කළ පහරදීමකින්  බරපතල තුවාල ලැබූ  එප්පාවල මාවතවැව ප්‍රදේශයේදී පුද්ගලයකු අද (16)  උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල මාවත වැව ප්‍රදේශයේ පදිංචි රේණුක සංජීව හේරත් නම් 40 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තාවුණේ.

වන අලි පහරින් තුවාල ලැබූ  මෙම පුද්ගලයා එප්පාවල, මාවතවැව ප්‍රදේශයේ තමන්ට අයත් හේනේ ඉදිකර
ඇති පැලෙහි සිටියදි අද  (16) අළුයම 6.00 ට පමණ හේනට කඩා වැදුණු තනි අලියෙකු හේනේ වගාවන් කා දමන අයුරු දැක අලියා  පළවා හැරීමට පැලෙන් බැස  පැමිණෙන අවස්ථාවේ වන අලියාගේ  පහර කෑමට ලක්ව තිබෙනවා.

මෙම පුද්ගලයා  පසු පස පන්නා ඇති වන අලියා පැලට  මිටර් සියයක් පමණ දුරින් පහරදිම සිදු කර ඇති අතර පහරදීමෙන් එම පුද්ගලයාගේ හිසර බරපතල හානි සිදුවීම හේතුවෙන් එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව ඇත.

ඒ අවට හේන් වල සිටි පැල් රකින්නන්ද තනි අලියා මරණකරුගේ හේනේ  සිටි අයුරු දැක ඇති අතර ඔවුන් සිද්ධිය මෙලෙස විස්තර කළා,

"අපි මේ හේන් වල එළවලු වගා කරලා තියෙන්නේ, පාන්දර එළිය වැටී ගෙන එද්දී අලියා මේ අයියාගේ හේනේ මෑ කරල් කෑල්ලට ඇවිත් හිටියා.අපි කිව්වා අලියා ඇවිත් කියලා.ඒ අයියා අලියා එළවන්න එද්දී අලියා පන්නාගෙන එනවා අපි දැක්කා.නිතරම අපේ හේන් වලට අලි එනවා, මේ තනි අලියාගෙන් තමයි නිතරම කරදරය" 

 නිරන්තරයෙන් අලි රංචු පිටින් මාවතවැව ගම්මානය ගම් වදින බවත් මීට පෙරද අවස්ථා කිහිපයකදී අලි මිනිස් ගැටුමෙන් අලි හා මිනිස් ජීවිත අකාළයේ අහිමි වී ගිය බවත් ප්‍රදේශවාසීන් පවසනවා.අලි වැටක් මෙම ගම්මානය අසලින් ඉදි කර ඇතැත් එය නිසි ලෙස ඉදි නොකිරීම හේතුවෙන් අලි මිනිස් ගැටුමේ අවසානයක් සිදුව නැතැයි ගම්වාසීන් චෝදනා කරනවා.

gossip lanka