gossip lanka

රජයේ එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ දෙවන අදියර අද සිට

ජනාධිපති කාර්යය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අද (15) සිට ආරම්භ වනවා. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ති‍්‍රක්ක කේන්ද්‍ර කර ගනිමින් රජය විසින් එළවළු සහ පළතුරු මිලදී ගැනීම අද සහ හෙට (16) සිදුවනු ඇති.
සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයේ එළවළු සහ පළතුරු, හිගයකින් තොරව බෙදාහැරීමේ පළමු අදියර ඉකුත් 11 සහ 12 යන දෙදින කි‍්‍රයාත්මක වුණා.

එහිදී, මිලදී ගත් එළවළු කිලෝග‍්‍රෑම් දස ලක්ෂයක් රටපුරා බෙදාහැරුණු බවයි රජය ප‍්‍රකාශ කළේ.

එමෙන්ම රත්නපුර සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවල සිටින කෙසෙල් ගොවීන් සතු අස්වනු මුළුමනින්ම මිලදී ගැනීම සඳහා දිස්ති‍්‍රක් දිසාපතිවරුන් වෙත රජය මුදල් ද නිදහස් කර තිබෙනවා.

එම දිස්ති‍්‍රක්කවල තෝරා ගත් ස්ථාන කිහිපයකදී ප‍්‍රාදේශිය ලේකම්වරුන්, කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරුන් සහ කෘෂි උපදේශකවරුන් මගින් එම කෙසෙල් අස්වනු මිලදී ගැනීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි රජය ප‍්‍රකාශ කළේ.

කෙසෙල් ගොවීන් හට උපරිම සාධාරණය ඉටුවන පරිදි, සාධාරණ මිල ගණන් යටතේ ඍජුවම කෙසෙල් ගොවීන්ගෙන් සිය අස්වනු මිලදී ගැනීමට තීරණය කර ඇති බව ද රජය ප‍්‍රකාශ කළා.

මේ අතර අනුරාධපුර සහ මහවිලච්චිය ප‍්‍රදේශයේ විශාල වට්ටක්කා ඵලදාවක් ඇති බවට වාර්තාවීමත් සමග එම තොග මිලදී ගෙන කොළඹ දිස්ති‍්‍රක්කයේ අඩු ආදායම් ලාභී ජනතාව වෙත බෙදාදෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ එළවළු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා අඛණ්ඩව කි‍්‍රයාත්මකයි.

ඍජුවම ගොවීන් වෙත ගොස් එලවළු මිලදී ගැනීම සිදුකරන බැවින් අතරමැදියන්ගේ ග‍්‍රහණයෙන් තොරව මෙම කි‍්‍රයාවලිය සිදු කෙරෙන බවයි රජය ප‍්‍රකාශ කළේ.

මේ අතර බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, වැලිමඩ හා කැප්පෙටිපොළ යන ප‍්‍රදේශවලදී දිස්ති‍්‍රක් ලේකම්ගේ ප‍්‍රධානත්වයෙන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගොවීන්ගෙන් එළවළු තොග මිලදී ගැනීමේ වැඩසටහනක් ද කි‍්‍රයාත්මකයි.

අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව පවත්වා ගනිමින් සිය අස්වනු අලෙවි කර ගැනීම පිළිබඳ අවිනිශ්චිතතාවයකින් පසුවන ගොවි ජනතාව වෙනුවෙන් මෙම කි‍්‍රයාවලිය ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව ද රජය ප‍්‍රකාශ කළා.
gossip lanka