gossip lanka

හෙට සිට සතියක් රෑ 7 සිට 8 දක්වා පිරිත් කියන්න

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වයිරසය රට තුළ ව්‍යාප්තවීම නිසා උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව බලවත් සංවේගයටත් කනස්සල්ලටත් පත්ව සිටින බවත් රට පුරා ජනතාවට ආශීර්වාදය පිණිස හෙට (1වැනිදා) සිට අප්‍රේල් 7 වැනිදා දක්වා දිනපතා රාත්‍රි 7.00 සිට රාත්‍රි 8.00 දක්වා ඝණ්ටාර නාද කර පිරිත් දේශනා කොට සත්‍යක්‍රියාව කරන ලෙසත් තෛ්‍රනිකායික මහ නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය, සමස්ත මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර සිටිති.


එම දිනවල එකම වේලාවට ආරම්භ කර එකම වේලාවක අවසන් කර රාත්‍රි 7.55ට සත්‍යක්‍රියාව කිරීම තුළින් එය විශාල ආධ්‍යාත්මික බලයක් වී අප රටටත් ජනතාවටත් ලෝකවාසීන්ටත් යහපතක් වන බව ද එමඟින් සඳහන් කර සිටිති.

ගිහි ජනතාව රජය විසින් දෙන නිවේදන අකුරටම පිළිපදිමින් නීතිගරුකව නිවෙස්වල සිටම මෙම ක්‍රියාවට සම්බන්ධ වන ලෙසද එමඟින් ඉල්ලා සිටිති.

රාත්‍රි 7.00ට විහාරස්ථානවල ඝණ්ටාර නාද කොට ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර බුද්ධ වන්දනාව කර පසුව රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කර සෙත් පතන ලෙස උන්වහන්සේලා ආයාචනා කර සිටිති.

අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී  සුමංගල - මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි, අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී  ඤාණරතන - අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමි, අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස -  අමරපුර  මහ නිකායේ මහ නාහිමි, අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය නාපාන පේමසිරි - ශ්‍රී  ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමි, ආචාර්ය අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර - කෝට්ටේ ශ්‍රී  කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මාහිමි, අමරපුර මහ සංඝ සභාවේ සභාපති අති පූජ්‍ය ගංතුනේ අස්සජි මහ නාහිමි ප්‍රමුඛ නාහිමිවරු 30 නමක් මෙම  ආයාචනයට අස්සන් තබා සිටිති.

පහන් විජේසේකර
gossip lanka