gossip lanka

කොරෝනා නිසා ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීම්

නව කොරෝනා වසංගතය නිසා ලෝකයේ බිලියන ගණනක් ජනතාව වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ ව්‍යසනයකට, තර්ජනයකට, අර්බුදයකට  මුහුණ පා සිටින බව රහසක් නොවේ. සඳුදා (30දා) මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ සංඛ්‍යාලේඛනවලට අනුව හත් ලක්‍ෂ විසිපන් දහසකට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර 34,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව සිටියහ. වයිරසය නිසා මතුව ඇති සෞඛ්‍ය තර්ජනය ගැන ඒ ආකාරයෙන් වාර්තා පළවෙද්දී තවත් අංශ රැසක අර්බුද හිස ඔසවමින් ඇති බව ද රහසක් නොවේ.
ලෝකයේ ආහාර සැපයුම සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලු ද ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන්නේ ඉදිරියේදී ලොව පුරා ආහාර හිඟයක් මතු වීමේ අවදානමක් පවතින බවයි. දැනට ලෝකයේ ආහාර තොගවල හිඟයක් නැතත් මෙම වසංගතය හමුවේ විවිධ රටවල් ගනිමින් සිටින නොයෙක් පියවර නිසා සමහර ගැටලු ඇති විය හැකි බව ඉහත  සංවිධානයේ ආර්ථික විද්‍යාඥයකු වන මැක්සිමෝ ටොරේරෝ පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.

මෙහිදී ප්‍රධාන වශයෙන් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වෙයි. ඇතැම් රටවල් සිය රටවල නිෂ්පාදනය කරන ආහාර තමුන්ගේ පරිභෝජනය සඳහා තබා ගනිමින් ඒවා අපනයනය කිරීම අත්හිටුවීම මෙහිදී විශාල බලපෑමක් කළ හැකි කාරණයක් ලෙස පෙන්වා දෙනු ලැබේ. දැනටමත් ඇතැම් රටවල් මේ ආකාරයෙන් ආරක්‍ෂණවාදී පියවර ක්‍රියාත්මක කරමින් විවිධ ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම නතර කර ඇත. ලෝකයට සහල් සපයන ප්‍රධාන රටක් වන වියට්නාමය සහල් අපනයනය සම්පූර්ණයෙන් නතර කර ඇති බව වාර්තා වෙයි. වියට්නාමය යනු ලෝකයේ සහල් අපනයනකරුවන් අතර තුන්වැනි ස්ථානයේ සිටින රටයි. කසකස්තානය තිරිඟු අපනයනය නතර කර ඇති අතර ලෝකයේ ප්‍රධාන තිරිඟු අපනයනකරුවා ලෙස සැලකෙන රුසියාව ද සිය අපනයන සීමා කිරීමට ඉඩ ඇති බවට සැක පළවෙමින් තිබේ. මේ වනවිට කොවිඩ්-19 නිසා දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින ඇමෙරිකාව ද මෙවැනි ආහාර ද්‍රව්‍ය අපනයනය සීමා කිරීමට ඉඩ තිබේ.

එක්සත් ජාතීන් ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන්නේ ලොව පුරා ආහාර සැපයුම් ක්‍රියාදාමයට මේ මොහොතේ කිසිසේත් බාධා නොකළ යුතු බවයි. රටවල් මේ සම්බන්ධයෙන් තේරුම් ගනිමින් නිදහස් ආහාර වෙළෙ¼දාමට ඉඩ දිය යුතුව ඇති බව ආර්ථික විද්‍යාඥ ටොරේරෝ ද අවධාරණය කර තිබිණි. එසේ නොකළහොත් ලොව ඇතැම් කලාපවල ආහාර හිඟයන් ඇති වීමේ අවදානම ගැන බොහෝ දෙනා අනතුරු අඟවති. මේ අතර රට රටවල් අතර  නැව් ගමනාගමනය සීමා වී තිබීම ද ආහාර බෙදාහැරීමේ කටයුත්තට යම් බාධාවක් එල්ල කරමින් තිබේ.

අස්වනු නෙළීම, ඇසිරීම, බෙදාහැරීම වැනි කටයුතු සඳහා කම්කරුවන් හිඟ වීමේ අවදානම ද මෙහි දී අවධානය යොමුව ඇති තවත් කාරණයකි. බොහෝ රටවල බොහෝ ප්‍රදේශ මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ජනතාව නිවෙස්වලට කොටු වී සිටිති. ඉන්දියාව වැනි රටවල් පවතින්නේ මුළුමනින්ම වසා දැමූ තත්ත්වයක ය. මෙම තත්ත්වය යටතේ අස්වනු නෙළීමේ සහ ඇසිරීමේ කටයුතු ආදියට විශාල වශයෙන් බාධා ඇති විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. මෙවැනි සේවා සඳහා අත්‍යවශ්‍ය කම්කරුවන් ආරක්‍ෂාකාරී ආකාරයෙන් සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට සමාජ දුරස්ථකරණ පියවර ගෙන   ඇති රටවලට සිදුවනු ඇති බව මේ පිළිබඳ අදහස් දක්වන නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති. එළවළු, පලතුරු වැනි ආහාර නිසි වේලාවට නෙළා ගෙන බෙදාහැරීම සිදු නොකළහොත් ඒවා කුණු වී නාස්ති වී යෑමේ අවදානමක් ද ඇති බව රහසක් නොවේ. කෙසේ වෙතත් ආහාර නිෂ්පාදනයෙහි යෙදෙන ගොවි ජනතාව වැනි පිරිස් රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම ද මෙහි දී කිසිසේත් සුළුකොට තැකිය හැකි නොවේ. යම් රටක එවැනි ජන කොටස් විශාල වශයෙන් රෝගීන් බවට පත් වුවහොත් එය ආහාර සැපයුමට කළ හැකි බලපෑම ගැන අමුතුවෙන් කිව යුතු නැත.

මේ අතර මස් පිණිස ප්‍රවාහනය කරන සතුන් සම්බන්ධයෙන් ද ගැටලු මතු වීමේ ඉඩක් ඇති බව සඳහන් වෙයි. මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ මේ වනවිට දේශ සීමාවල පනවා ඇති  විවිධ සීමාවන් සහ ඒ නිසා ඇති වන ප්‍රමාදයන් ය. මේ නිසා මස් පිණිස ප්‍රවාහනය කරන සතුන් අතර ලෙඩදුක් පැතිර යෑමේ අවදානමක් මතු වී ඇති බැව් සඳහන් වෙයි.

ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීමේදී නිෂ්පාදකයන්ට, බෙදා හරින්නන්ට, රජයන්ට පමණක් නොව සාමාන්‍ය පාරිභෝගික ජනතාවටද විශාල වගකීමක් පැවරෙන බව මැක්සිමෝ ටොරේරෝ පෙන්වා දෙයි. සාමාන්‍ය ජනතාව ආහාර හිඟයක් පිළිබඳව ඇති වන බිය නිසා විශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය මිල දී ගනිමින් රැස් කර තබා ගැනීමට පෙලඹීම සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන් අවධානය යොමු කරයි.  ආහාර හිඟය උත්සන්න කිරීමට මෙයද හේතුවක් විය හැකි බවත්, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමක් මෙයින් සිදුවිය හැකි බවත් මෙහිදී පෙන්වා දෙනු ලැබේ. එළවළු, පලතුරු වැනි දේ වුවමනාවට වඩා මිල දී ගෙන රැස් කර තබා ගැනීමෙන් ඒවායෙහි නාස්තියක් සිදුවීමට ඇති ඉඩකඩ ගැන ද ටොරේරෝ සඳහන් කරයි.

ආහාර හිඟය පිළිබඳ කාරණයේදී අවධානය යොමුවන තවත් ගැටලුවක් වන්නේ වුවමනා තරම් ආහාර තිබුණත් සමාජයේ වඩාත් දිළිඳු ස්තරවල ජනතාවට ඒවා මිල දී ගැනීමට මුදල් නොමැති වීම පිළිබඳ අර්බුදයයි. මේ වනවිට ලොව විශාල පිරිසකට සිය ආදායම් මාර්ග අහිමිව ගොස් ඇති පසුබිමක මෙම ගැටලුව ජය ගැනීම සම්බන්ධයෙන්ද විශාල අවධානයක් යොමු කිරීමට අදාළ බලධාරීන්ට සිදු වෙයි. ඇතැම් රටවල් දැනටමත් මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බව රහසක් නොවේ. නිදසුනක් ලෙස ඇමෙරිකාව මෙවැනි සෑම පුද්ගලයකුටම ඇමෙරිකානු ඩොලර් 1,200ක චෙක්පතක් නිකුත් කිරීමට තීරණය කර තිබේ. තවත් රටවල් රැසක්ම ආදායම් මාර්ග අහිමිව ගිය පිරිස් වෙත මෙවැනි දීමනා ලබා දීමටත්, විවිධ සහන සැලසීමටත් පියවර ගනිමින් සිටියි. ඉන්දියාවද මෙවැනි සහන වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 22ක මුදලක් වෙන් කර ඇති බව පසුගියදා වාර්තා විය.

නිහාල් පීරිස්
gossip lanka