gossip lanka

කොළඹ මිනිස්සුන්ට හිර ගෙදරින් නොමිලේ පාන් 10,000ක්

ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලින් පිටතට යෑමට නොහැකිව සිටින කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පාන් රාත්තල් දස දහසක් දිනපතා නොමිලයේ බෙදාදීමේ වැඩපිළිවෙළක් වැලිකඩ බන්ධනාගාරය හා ඇවන්ගාඩ් සමූහය එක්ව ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවැසීය.


මෙම පාන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරය මඟින් සපයන බවද එකී පාන් දස දහසෙන් තුන් දහසක් වැලිකඩ බේකරි අංශයේ සේවය කරන රැඳවූවන් නිෂ්පාදනය කරන බවද ඒ මහතා පැවැසීය.

ඉකුත් 28 වැනිදා සිට ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට සමගාමීව ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය හා දෙමටගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිසියේ සහාය ඇතිව එකී පාන් බෙදාදුන් බවද ඒ මහතා කීය.

දිනපතා උදේ හා සවස මෙකී පාන් බෙදා හරින බවද පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලින් පිටතට යෑමට නොහැකිව සිටින ජනතාවට සහනයක් සැලසීමක් වශයෙන් එම පාන් නොමිලයේ දෙන බවත් ඇඳිරි නීතිය අවසන් වනතෙක් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මේ සඳහා වැලිකඩ බන්ධනාගාර අධිකාරි තුසිත උඩුවර මහතාගේ පූර්ණ සහාය ලැබී ඇති බවත්ය.

කුමුදු උපුල් ශාන්ත
gossip lanka