gossip lanka

දින 21 ක් ඉන්දියාව වසාදමද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය අමෙරිකාව දෙසට

කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ සමස්ත ඉන්දියාවේ කටයුතු අක්‍රීය කිරීමට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගනු ලැබුවා. ඒ අනුව එම  අක්‍රීය තත්ත්වය දින 21 ක කාලයක් සඳහා බල පැවැත්වෙන බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. එසේම අදාල කාලසීමාව තුල කිසිදු ඉන්දීය වැසියෙකුට නිවසින් බැහැරව යාමට අවස්ථාවක් නොලැබේ.


එසේම මෙම අක්‍රීය තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග දිල්ලිය ඇතුළු නගර රැසක ජනතාව ආහාර රැස් කිරීම ආරම්භ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙසයි.

මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා අසාදිතයින් 519 දෙනෙකු වාර්තා වී ඇති  අතර මිය ගිය සංඛ්‍යාව 10 ක්.

මේ අතර අමෙරිකාව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.  එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මාග්‍රට් සඳහන් කර තිබුණේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ගත වූ පැය 24 තුළ යුරෝපයේ හා අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 85% ක් වන අතර ඉන් 40 % ක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
gossip lanka