gossip lanka

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සුව ඇමැතිගෙන් පියවර

ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව සෞඛ්‍ය සේවාවේ එක් එක් වෘත්තීය සේවාවන් හී පැවැති පුරප්පාඩු අවම කරමින් පසුගියදා 703 දෙනකු සදහා පුහුණු පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගියදා සිදු කෙරිනි. අදාල සියලු පත්වීම් අ.පො.ස උසස් පෙළ ඉහළ ප්‍රතිඵලලාභීන් අතරින් තෝරා ගැනීම සිදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේය.

දිවයින පුරා රජයේ රෝහල්වල  ඖෂධවේදී පුරප්පාඩු 383 ක් පැවැති අතර, පසුගියදා ඖෂධවේදී පුහුණූව සදහා 249 ක් බදවා ගැනීමත් සමග එම පුරප්පාඩූ පුර්ණය කිරීමේ හැකියාව ලැබී ඇත. එමෙන්ම වෘත්තීය චිකිත්සක පුහුණුවට 55 ක් බදවා ගත් අතර එහි පැවැති 83 ක් වූ පුරප්පාඩු සංඛ්‍යාව අවම කිරීමට එමගින් හැකිව ඇත. තව ද මහජන සෞඛ්‍ය පරීක්ෂණවරු 346 පුහුණුවට බදවා ගැනීමට පියවර ගත් අතර, පැවැති 382 ක් වූ පුරප්පාඩු සංඛ්‍යාව ද අවම කර ගැනීමට හැකියාව ලැබී ඇත. අක්ෂි තාක්ෂණවේදී තනතුරේ පුරප්පාඩු 17 ක් පැවැති අතර 19 ක් පුහුණුවට බඳවා ගැනීමත් සමග එම පුරප්පාඩු සංඛ්‍යාව ද ඉතාම අවම තත්ත්වයට පත්ව ඇත.. කීට විද්‍යා නිලධාරීන් 101 පුරප්පාඩුව පැවැති අතර 24 ක් පුහුණුවට බඳවා ගැනීමට කටයුතු යෙදිනි. අංගාදේශක සෘජුකරනඥ 10 ක් පුහුණුවට බඳවා ගැනීමත් සමග පැවැති 08 ක් වූ පුරප්පාඩු සංඛ්‍යාව පූර්ණය කොට ඇ.ත. ඔවසියර් 108 දෙනෙකුට පත්වීම් ලබාදීමත් සමග එම තනතුරේ පුරප්පාඩුව පැවැති 159 ක් වූ සංඛ්‍යාව ද අවම අගයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.

 පැවැති උත්සවසභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා "අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා අවස්ථා ලබාගැනීමට සහ පුහුණුවීම් සදහා පත්වීම් ලබාගැනීමට තමුන්නාන්සේලා මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. අද දිනය ඔබගේ ජිවිතයේ ස්වර්ණමය අවස්ථාවක්. පුහුණුවෙන් පසු ඔබලාට දිවයිනේ විවිධ ප්‍රදේශවලට අදාලව පත්වීම් ලැබෙනවා.  එතකොට මේ රටේ රාජ්‍ය සේවකයින් විදිහට ඔබතුමාලාට කටයුතු කරන්න සිද්ධ වෙනවා."

"අපි ගත්ත තීන්දු අනුව බොහෝ අය මේවට විරුද්ධයි. මේවාගෙන් ව්‍යාපාර කරපු අය විරුද්ධයි. දුම්කොළ සමාගම්, පැණිබීම සමාගම්, ඖෂධ සමාගම් විරුද්ධයි. මොකද ඔවුන්ට විශාල වශයෙන් අලාභයක් සිදුවන නිසා. ඔවුන් අපට විරුද්ධව පිරිස් යොදාගෙන විවේචනය කරන්න පටන් ගත්තා. ඒක ගැටලුවක් නැහැ. මොකද අපි ඒක බලාපොරොත්තු වුනා. එයාලා අපිව විවේචනය නොකළා නම් අපේ වැඩපිළිවෙලේ මොකක් හරි වැරද්දක් තිබෙනවා. අපි නිවැරදි බව දැනගන්නේ ඔවුන් අපිව විවේචනය කිරිම තුලින්." යැයි ද වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

මේ අතර පසුගියදා දර්ගා නගරයේ අල් හම්රා මහා විද්‍යාලයේ  විදුහල්පති නිල නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සදහා ද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එක්විය.

“තව නොබෝ දිනකින් උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සදහා ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන වත්මන් රජය ආරම්භ කරනවා. පළමුව ජාතික පාසල් වලින් මෙම වැඩසටහන ආරම්භ කර, දෙවන අදියර යටතේ සියලුම පාසල්වල උසස් පෙළ හදාරන පාසල් සිසු සිසුවියන් හට මෙම ටැබි පරිගණක ලබාදෙනවා. . මෙම ටැබ් පරිගණක අධ්‍යාපන කටයුතු සදහා පමණක් භාවිත කළ හැකි පරිදි සකසා තිබෙනවා. අනෙකුත් දේවල් බ්ලොක් කරලා තිබෙනවා. මොකද දරුවන්ගේ ආරක්ෂාව සදහා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යාමේ දී එය කඩාකප්පල් කරන්න කටයුතු සිදු වුනා. ජනාධිපතිතුමා නෙයෙකුත් ප්‍රශ්න ඇහුවා. එක නිසා මෙම ව්‍යාපෘතිය පරක්කු වුනා."

 “ඒ වගේම මම කියන්න ඕන අද අපේ සියලු දරුවන් රක්ෂණය කර තිබෙනවා. සියලුම දරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සදහා එම රක්ෂණ ආවරණයෙන් මුදල් ගෙවනවා. රජයේ හෝ පෞද්ගලික යන ඕනෑම රෝහලකින් අහිංසක දුප්පත් දරුවන්ට ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් ප්‍රතිලාභ දරුවන්ට අප රජය ලබා දී තිබෙනවා. මේ වගේ අධ්‍යපානයට මුදල් වෙන් කරපු රජයක්  තවත් නැහැ. එමෙන්ම සෞඛ්‍ය සේවාව සදහාත් මෙතරම් මුදල් වෙන් කළ වෙන කිසිදු රජයක් නැහැ. ජාතික ආරක්ෂාවට පස්සේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වැඩිම මුදලක් රජය වෙන් කර  තිබෙනවා. වසර 13 ක් යන තුරු පැහැදිලිවම අධ්‍යාපනය අනිවාර්යය කර තිබෙනවා. මේ වගේ ප්‍රගතිශීලි වැඩසටහන් රැසක් අප රජය ක්‍රියාත්මක කර තිබෙනවා. ඉදිර්යේ දී පාසල් ආචාර්ය මණ්ඩලයේ අයටත් නිල නිවාස ඉදිකිරීමට අදාලව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සකසා තිබෙනවා. පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙසෙන මෙම පාසලේ විදුහල්පතිතුමාට ද මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.”

 මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූමි මොහොමඩ් මහතා, කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්., එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සංවිධායක ඉෂ්ථීකාර් ජමිල්, බේරුවල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක බදියුදීන්,  පාසලේ විදුහල්පති එම්.එස්.එම් නල්රී මහතා, ගරු මණ්ඩලය, සිසු දරු  දැරියන්, දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.



නිහාල් කිරිඇල්ල
gossip lanka