gossip lanka

තහනමට ලක්වූ ජූඩෝ කාරයෝ ආයෙත් සංගමයට රිංගන්න යයි

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ නිලතලවල රැඳී සිටියදි සිදුකළ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට වරදකරුවකු වී වසර 10කට නිලතල දැරීම තහනම් වූ හිටපු නිලධාරියකු වසර තුනකට පසුව එම තහනම ඉවත් කරගැනීමට අභියාචනාවක් ඉදිරිපත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


තහනමට ලක්වීමෙන් වසර 3කට පසුව අභියාචනාවක් ඉදිරිපත් කිරීම ගැටලු සහගත මෙන්ම සැකයට තුඩු දෙන සිදුවීමක් බව ජූඩෝ ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරන අතර අදාළ නිලධාරියා මෙමගින් සිය තහනම ඉවත් කරගැනීමෙන් පසුව එම තහනමට ලක්වූ සෙසු නිලධාරීන් ද අභියාචනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අභියාචනා කමිටුව විසින් විවිධ නිර්දේශ කිහිපයක්ම ලබා දී ඇතැයි ද එම නිර්දේශ එකිනෙකට පරස්පර විරෝධි බවට ද කරුණු වාර්තා වෙයි.

තහනමට ලක්වීමෙන් වසර 3කට පසුව අභියාචනාවක් ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත්, එම නිලධාරියාගේ මුදල් අවභාවිතය හා අක්‍රමිකතාව තහවුරු වී ඇති බැවින් එම තහනම මුළුමනින්ම ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව අභියාචනා කමිටුව වාර්තාවකින් පෙන්වා දී තිබිණ.

එසේ වුවත් තවත් නිගමනයක් ලෙස පෙන්වා දී ඇත්තේ දඬුවම මුළුමනින්ම ඉවත් නොකර ලිහිල් කිරීම සුදුසු බවය. නිගමන සඳහන් කිරීමෙන් පසුව නැවත නිර්දේශ සඳහන් කරමින් විනය නියෝගය තව දුරටත් ක්‍රියාත්මක කිරීම හෝ ලිහිල් කිරීම සුදුසු බවටත් පෙන්වා දී තිබේ.

එසේ පරස්පර විරෝධි නිගමන සහ නිර්දේශ ඉදිරිපත් කරමින් ස්ථීර නිර්දේශයක් ලබා දීමට අභියාචනා කමිටුව අසමත්වී ඇති අතර ඔවුන්ගේ කාර්යය ස්ථාවරව සිදු කර නොමැති බව පැහැදිලි වෙයි.

ඒ අනුව මේ අභියාචනා කමිටුව තහනමට ලක්වූ අදාළ නිලධාරියාට පක්ෂපාතීව කටයුතු කරන්නේදැයි ජූඩෝ ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව සැක පහළ කරති.

එබැවින් මේ නිර්දේශ පිළිගත නොහැකි තත්ත්වයක පවතින බවත්, ඒකපාර්ශ්වික බවක් පෙනී යන බවත්, සඳහන් කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා ලිපියක් යොමු කර තිබේ.

අදාළ අභියාචනාව පිළිබඳ අභියාචනා කමිටුව ඉදිරිපත් කර ඇති නිගමන හා නිර්දේශයන් පිළිවෙළින් එහි සඳහන් කර ඇති අතර එම ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කර ඉදිරි කටයුතු කිරීම සුදුසු බව කියා තිබේ.

වසර 2012 ජූනි මාසයේදි ක්‍රීඩා උපකරණ මිළදී ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ජූඩෝ සංගමයට ලබා දී තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධව මේ තහනමට ලක්වී සිටින එවකට හිටපු ලේකම් සරත් කස්තුරිආරච්චි මහතා විසින් මෙම අභියාචනාව ඉදිරිපත් කර තිබිණ.

පසුව ඒ මහතා ලිඛිතව එම වරද පිළිගත් අතර නැවත මුදල් ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් ද ලබා දී තිබිණ.

එවැනි තත්ත්වයක් මත කස්තුරිආරච්චි මහතා සහ විවිධ මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් හිටපු සභාපතිවරයකු සහ තවත් නිලධාරීන් 11 දෙනකුට වසර 10ක තහනමක් පැනවීමට කටයුතු කරනු ලැබුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසිනි.

එම තහනම පනවනු ලැබුවේ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් සහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ධම්මික කිතුල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් විසින් පවත්වනු ලැබූ විශේෂ විමර්ශනයක් මගින් ඉදිරිපත් කළ නිර්දේශවලට අනුවය.

(දිනමිණ)
gossip lanka