gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට කමාන්ඩෝ සෙබළු 8,500ක් !

මේ මස 27 වැනිදා පකිස්තානයේ ආරම්භ වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි - 20 තරඟාවලිය සඳහා පකිස්තානු කමාන්ඩෝ සෙබළුන් 8,500 කගෙන් යුතු ආරක්ෂාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත සැපයීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.


ඒ අනුව ශ්‍රී ලංකා - පකිස්තාන එක්දින හා පන්දුවාර විස්සයි - 20 තරඟාවලිය වෙනුවෙන් රාජ්‍ය නායකයකුට ලබාදෙන ආරක්ෂක කාණ්ඩය යටතේ ආරක්ෂාව සැපයීමට එරට රජය එකඟවී ඇතැයි පැවසේ.

මේ අනුව තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය වෙත යාමේදී වෙඩි නොවදින රථ යොදා ගනිමින් ප්‍රවාහන පහසුකම් සැලසීමටත්, ක්‍රීඩකයන් නවාතැන් ගන්නා හෝටලය වෙනත් කිසිඳු පුද්ගලයෙකුට ඇතුල් විය නොහැකි ආකාරයෙන් ආරක්ෂාවක් තර කිරීමටත් පකිස්තාන බලධාරීහු එකඟතත්වය පළකර ඇත.

පාකිස්තානු සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වාසදායක තොරතුරක් ලැබී ඇති බව ඊයේ (11) අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් කර තිබේ.

ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් 10ක් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න එක්දින නායකයා ලෙසද දසුන් ශානක විස්සයි - 20 නායකයා ලෙසද නම් කර තිබේ.

ප්‍රහාරයක් ගැන වාර්තා වෙලා නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන පකිස්තාන සංචාරයේදි ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර පකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටින්නේ එවැනි කිසිඳු තොරතුරක් මේ වන තුරුත් ඔවුන්ගේ බුද්ධි අංශ වෙත ලැබී නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන ආකාරයට එළඹෙන පකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී තර්ජනයක් ඇතිවිය හැකි බවට මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා විශ්වාසදායක තොරතුරු ලැබී ඇති අතර පකිස්තාන ක්‍රිකට් ආයතනය එය ප්‍රතික්ෂේප කර සිටියි.

ලාහෝර් ප්‍රහාරයට වසර 10 යි

2009 වසරේදී ද පකිස්තානයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුණ අතර තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එහිදී තුවාල ලැබුවා.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරයකට සූදානම් වන්නේ එම ප්‍රහාරයෙන් වසර දහයකට පසුවයි.

අමාත්‍යවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා - හරීන්

මේ අතර ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් තරග සංචාරයට එක් නොවන බවට පාකිස්තානයේ අමාත්‍යවරයෙක් නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

පකිස්තානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හුසේන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පාකිස්තානයේ සංචාරය කළහොත් ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී කර නොගන්නා බවට ඉන්දියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජනය කර තිබෙන බව  ක්‍රීඩා විචාරකයන් තමන්ට පැවසූ බවය.
gossip lanka